පැතුම් ICC සම්මානයකට නිර්දේශ වෙයි!

ICC Men's Player - 2024 February Month

132
Pathum Nissanka

පෙබරවාරි මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ නම යෝජනා වී තිබෙනවා.

ගෙවුණු පෙබරවාරි මාසය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අතුරින් මාසයේ හොඳම ක්‍රීඩකයා සඳහා ICCය විසින් පැතුම්ට අමතරව ඉන්දියාවේ Yashasvi Jaiswal සහ නවසීලන්තයේ Kane Williamson යන අයගේ නම් ද යෝජනා කර තිබෙනවා.

පැතුම් නිස්සංක විසින් ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එය ශ්‍රී ලාංකිකයකු විසින් එක්දින තරගයක වාර්තා කළ ප්‍රථම ද්විත්ව ශතකය ලෙස ද වාර්තා අතරට එක් උනා.

එමෙන්ම ඔහු සනත් ජයසූරිය විසින් වසර 24ක කාලයක් මුළුල්ලේ රැක ගත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක වැඩිම ලකුණු වාර්තාව ද තමන් සන්තකයට ගැනීමට මෙහි දී සමත් වුනා.

එතෙකින් ද නොනැවතුණු පැතුම් ඇෆ්ගනිස්තානය සමඟ තෙවන එක්දින තරගයේ දී ද තවත් ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම දෙරට අතර පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලියේ දී ද සාර්ථක වූ පැතුම් අවසන් විස්සයි විස්ස තරගයේ දී නොදැවී ලබා ගත් අර්ධ ශතකයක් සමඟින් සිය ඉනිම නතර කලේ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙනුයි.

පැතුම්ට අමතරව මෙම සම්මානය සඳහා නිර්දේශ වූ ඉන්දීය යොවුන් පිතිකරු Yashasvi Jaiswal විසින් එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දී ද්විත්ව ශතක ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වුනා. Jaiswal විසින් ගෙවුණු මාසය තුළ ටෙස්ට් ක්‍රිකට් තරග තුනක දී ලකුණු 560ක් ලබා ගැනීමට සමත් වී තිබෙන්නේ 112ක පිතිකරණ සාමාන්‍යයක් ද සමඟයි. එමෙන්ම ඔහු විසින් මෙම ලකුණු ප්‍රමාණය වෙනුවෙන් හයේ පහර 20ක් එල්ල කිරීමට සමත් වී තිබීම ද විශේෂත්වයක්.

මොවුන් දෙදෙනාට අමතරව මෙම සම්මානය සඳහා නිර්දේශ වූ නවසීලන්තයේ Kane Williamson විසින් දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී පිත්තෙන් සාර්ථක වීමට සමත් වුනා. මෙම තරගාවලියේ දී ශතක ද්විත්වයක් රැස් කිරීමට සමත් වූ Kane, ටෙස්ට් ශතක 32ක සීමාවට ලොව වේගයෙන් ම ළඟ වූ ක්‍රීඩකයා බවට පත් වීමට සමත් වීම ද විශේෂත්වයක්.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<