නවසීලන්තයට ඉතිහාසගත තරගාවලි ජයක්

528
Tom Latham leads New Zealand

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති තෙවැනි එක්දින තරගයෙන් ලද ජයත් සමඟ කැරිබියන් දූපත් තුළ කොදෙව්වන්ට එරෙහිව පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය වාර්තා කරන්නට නවසීලන්තය සමත් වුනා.

නවසීලන්ත කණ්ඩායමේ වැඩ බලන එක්දින නායකයා ලෙස කටයුතු කළ Tom Latham ලබා ගත් අගනා ලකුණු 69 නිසාවෙන් තීරණාත්මක අවසන් එක්දින තරගයේ කඩුලු 5ක ජයක් හිමි වුනේ නවසීලන්තයටයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Kyle Mayers ලබා ගත් ශතකය සහ Nicholas Pooran ලබා ගත් අගනා ලකුණු 91 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 301ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

ලකුණු 302ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් දියත් කළ අගනා ඉනිම් නිසා තරගය පන්දුවාර 47.1 දී ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි වීම විශේෂත්වයක්.

නිත්‍ය නායක Kane Williamson ආබාධයට ලක් වීම නිසාවෙන් කණ්ඩායම මෙහෙය වූ Latham තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළේ,

“මෙහෙට එන්න ලැබුණ එක සතුටක්. අනෙකුත් කණ්ඩායම් පසුගිය කාලසීමාවේ පසු බෑමකට ලක් වූ මෙහි දී තරගාවලියක් ජයග්‍රහණය කරන්න ලැබුණ එක ලොකු දෙයක්.

අද කඩුල්ල ඇත්තටම හොඳ එකක්. අපි අපේ ඉලක්කය දැනගෙන හිටියා. ඉතින් කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබා දීමට හැකි වීම විශාල සතුටක්.”

තියුණු තරගාවලි පරාජයෙන් පසුව අදහස් දැක්වූ කොදෙව් නායක Nicholas Pooran ප්‍රකාශ කළේ,

“අපිට දෙවැනි තරගයෙන් තරගාවලිය ජයග්‍රහණය කරන්න තිබ්බ අවස්ථාව මග හැරුණා. ඒ නිසා අපිට ඒකට වන්දි ගෙවන්න වුනා.

අපිට විශේෂ ක්‍රීඩකයින් රැසක් දැන් ඉන්නවා. ඉතින් මම හිතනවා අපිට ආයෙත් ඉක්මනට හොඳ තත්වයට එන්න පුළුවන් වෙයි කියලා.”

මෙම තරගයේ ලකුණු 38කට කඩුලු දෙකක් දවා ගනිමින් තරගාවලිය පුරාවටම සුවිශේෂී දස්කම් දැක්වූ නවසීලන්ත ක්‍රීඩක Mitchell Santner තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනුවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<