83 වැනි සාන්තුවරුන්ගේ සටන ජය පැරදුමෙන් තොරව නිමාවෙයි

424
St Joseph's v St. Peter's

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවති 83 වැනි සාන්තුවරුන්ගේ සටන අද (04) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමාව දිටීය. පසුගිය වසරේ පැවැත්වුනු මහා ක්‍රිකට් තරගයේ දී ශූරතා කුසලානය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලය මෙවරත් එහි හිමිකාරීත්වය දරන්නට දැඩි වෙහෙසක් ගත් නමුත් එම උත්සාහයෙන් තම විද්‍යාලය ගලවා ගන්නට සාන්ත ජෝසප් විද්‍යාලයේ ජෙහාන් ඩැනියෙල් සමත් විය.

පීතර විද්‍යාලයේ අභියෝගය හමුවේ ජෙහාන් ඩැනියෙල්ගෙන් විශිෂ්ට ශතකයක්

එදා මෙදාතුර ලක් මාතාව ජයග්‍රහණයෙන් සරසන්නට මූලිකත්වය ගත් විශිෂ්ට ක්‍රීඩකයින් රැසකගේ තිඹිරිගෙය බවට පත්වූ පාසල් දෙකක් අතර පැවැත්වෙන…

ඊයේ දිනය සඳහා තරගය නතර කර විට, ලකුණු 205ක් ලෙසින් සටහන් වුනු ජෝසප් ප්‍රථම ඉනිම හඹායමින් සිටි පීතරයන් කඩුලු 5ක් දැවී ලකුණු 138ක් රැස් කරගෙන සිටියහ. අද උදෑසන ඔවුන්ගේ ලකුණු පුවරුවට තවත් ලකුණු 50ක් එක් වෙද්දී ඔවුන්ට වෙන්කර තිබූ පන්දුවාර 60 නිමාව විය. ඒ අතරතුරේ දී තවත් කඩුලු 3ක් ජෝසප් විද්‍යාලයේ පන්දු යවන්නන් අතර බෙදී ගියේ නිපුන් සුමනසිංහ (4/49) ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් කරමිනි.

පීතර විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ උප නායක මනෙල්ක ද සිල්වා හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් අර්ධ ශතකයක හිමිකරු බවට පත්විය. මීට අමතරව ශලිත් ප්‍රනාන්දුගේ පිත්තෙන් ලකුණු 47ක් පීතර ප්‍රථම ඉනිමට එකතු විය. කෙසේ වෙතත් අඩු ලකුණු වේගය හේතුවෙන් පීතරයින්ට ජෝසප් ප්‍රථම ඉනිම අභිබවා යාමට නොහැකි විය.

ලකුණු 17ක වාසියක් සමඟින් තම දෙවැනි ඉනිම ඇරඹූ සාන්ත ජෝසප් විද්‍යාලයට එහි දී ද එතරම් සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි නොවීය. ඒ ඔවුන්ගේ බොහෝ පිතිකරුවන් එහි දී ද අඩු ලකුණු සංඛ්‍යා වලට සීමා වුනු බැවිනි. විද්‍යාලයට අවශ්‍යම කරන මොහොතේ ප්‍රථම ඉනිමේ විශිෂ්ට ශතකයක් වාර්තා කල ජෙහාන් ඩැනියෙල් දෙවැනි ඉනිමේ දී ද තම විද්‍යාලයේ ගෞරවය බේරා ගනිමින් එක් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් රැස් කළේය. මීට අමතරව ආරම්භක පිතිකරු තශාන් පෙරේරා සහ නායක හරීන් කුරේ ලකුණු 25 බැගින් රැස් කිරීම නිසා දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 8ක් දැවී 163ක් දක්වා වැඩිදියුණු කර ගත් ජෝසප් විද්‍යාලය තම ඉනිම අත්හිටුවන්නට තීරණය කළේය.

[rev_slider dfcc728]
.

ඒ අනුව ලකුණු 180ක ඉදිරියක් සමඟින් දිනයේ අවසන් පැයේ දී තම දෙවැනි ඉනිම ආරම්භ කළ සාන්ත පීතර විද්‍යාලය තරගයේ අවසන් භාගය දර්ශනීය පහරවල් රැසකින් සරසමින් පීතර විද්‍යාලයේ ජය හඬ ඉහළ නංවන්නට සමත් විය. නමුත් ඉතිරිව තිබූ පන්දුවාර 15 ජයග්‍රහණයක් කරා යාමට ප්‍රමාණවත් නොවූ බැවින් 83 වැනි සාන්තුවරුන්ගේ සටන 2017 වර්ෂයටත් ජය පරාජයෙන් තොරව නිමාවිය. පීතර විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් වන සන්තුෂ් ගුණතිලක ඒ වන විට ලකුණු 52ක් රැස් කරගෙන සිටි අතර අනිෂ්ක පෙරේරා ද නොදැවී ලකුණු 41ක් ලබාගෙන සිටියේය. ඔවුන් දෙදෙනාම ඒ වන විට හතරේ පහර 6 බැගින් එල්ල කර තිබුණි.

ඒ අනුව විද්‍යාල දෙක අතර පැවති මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවුනු 61 වැනි වතාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක්විය. කෙසේ වෙතත් ප්‍රථම ඉනිමේ ශතකයක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 42ක් රැස් කරමින් එක් කඩුල්ලක් ද බිඳ හෙලූ සාන්ත ජෝසප් විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් ඩැනියෙල් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ත්‍යාග ප්‍රදානෝත්සවය අතරතුර දී බෙදී ගිය අනෙකුත් සම්මාන පිලිබඳ තොරතුරු පහතින් දැක්වේ.

සාන්ත ජෝසප් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 57.2): ජෙහාන් ඩැනියෙල් 124*, ශෙවෝන් ෆොන්සේකා 26, පහන් පෙරේරා 25, සන්තුෂ් ගුණතිලක 3/34, මනෙල්ක ද සිල්වා 3/35.

සාන්ත පීතර විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 188 (පන්දුවාර 60): ශලිත් ප්‍රනාන්දු 47, මනෙල්කාර් ද සිල්වා 51, රන්මිත් ජයසේන 25, නිපුන් සුමනසිංහ 4/49.

සාන්ත ජෝසප් විද්‍යාලය (දෙවන ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 163 (පන්දුවාර 77): ජෙහාන් ඩැනියෙල් 42, තශාන් පෙරේරා 25, හරීන් කුරේ 25, මනෙල්ක ද සිල්වා 2/21, මිෆ්ලාල් අමීන් 3/42.

සාන්ත පීතර විද්‍යාලය (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 99 (පන්දුවාර 15): සන්තුෂ් ගුණතිලක 52*, අනිෂ්ක පෙරේරා 41*.

පුද්ගල සම්මාන

  • හොඳම පන්දු රකින්නා – ලක්ෂිණ රොද්‍රිගෝ (SPC)
  • හොඳම පන්දු යවන්නා – නිපුන් සුමනසිංහ (SJC)
  • හොඳම පිතිකරු – ජෙහාන් ඩැනියෙල් (SJC)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – මනෙල්ක ද සිල්වා (SPC)

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට