එංගලන්තයට තවත් අසුබ ආරංචියක්

454

ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු අළුබඳුන ටෙස්ට් තරගයේ දී නිවැරදි පන්දුවාර වේගයක් පවත්වා ගැනීමට අසමත් වීම හේතුවෙන් එංගලන්තයට ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඔවුන් ලබා ගත් ප්‍රසාද ලකුණුවලින් ලකුණු 8ක් අඩු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

එය මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා ලකුණු තුනක වැඩි වීමක්.

පසුගිය සෙනසුරාදා (11) නිවේදනයක් නිකුත් කරමින් එංගලන්තයට ටෙස්ට් ශූරතාවලියට අදාළව දඬුවම් ලකුණු පහක් ලබා දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබුණා.

එක් පන්දු වාරයකට එක් ලකුණ බැගින් පන්දුවාර පහකට ලකුණු පහක් අඩු කිරීමට මීට පෙර තීරණය කර තිබුණා. කෙසේ වෙතත් පසුව සිදු කළ ගණනය කිරීමක දී එංගලන්තය පන්දුවාර 8ක් අඩුවෙන් යවා ඇති බව තහවුරු වීම නිසා මෙලෙස ලකුණු 8ක් අඩු කිරීමට තීරණය කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

එංගලන්තය ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2021-23 චක්‍රයේ ටෙස්ට් තරග පහකට ක්‍රීඩා කර තිබෙනවා. ඉන් එක් තරගයක් ඔවුන් ජයග්‍රහණය කර ඇති අතර තරග තුනක් පරාජය වී එක් තරගයක් ජය පරාජයකින් තොරව අවසන් කර තිබුණා.

මීට පෙර ඔවුන් ප්‍රසාද ලකුණු 12කට හිමිකම් කී අතර මෙලෙස ලකුණු 8ක් අඩු වූ පසු ඔවුන් මේ වන විට ලකුණු 6ක් ලබාගෙන ශ්‍රේණිගත කිරීම්වල හත්වැනි ස්ථානයේ පසුවනවා. ඔවුන්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 10%ක් ලෙසයි.

පළමු තරගය අතරතුර පන්දුවාර වේගය පවත්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් එංගලන්තයට තරග ගාස්තුවෙන් 100%ක දඩයක් ද නියම වුනා.

එංගලන්තය පන්දුවාර අටක් අඩුවෙන් ක්‍රියාත්මක කරලා තිබුණා. (කලින් ප්‍රකාශයට පත් කළ පරිදි පන්දුවාර පහක් නොවේ) නමුත් තරග ගාස්තුවෙන් අය කර ගත හැකි සීමා හේතුවෙන් ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 100ක දඩයක් පමණක් නියම කරනවා”, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඔවුන්ගේ නිවේදනයෙන් පවසා සිටියා.

කෙසේ වෙතත්, පන්දුවාර සංඛ්‍යාව සහ දඬුවම් ලකුණු අඩු කිරීම සීමාවක් නම් කරලා නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කොන්දේසිවල 16.1.2 වගන්තියට අනුව කණ්ඩායමක පන්දුවාර අවම අවශ්‍යතාවයට වඩා අඩු පන්දුවාර සංඛ්‍යාවට අදාලව දඬුවම් ලකුණු තීරණය කරනවා. එබැවින් ඔවුන්ට එක් පන්දුවාරයකට එක් ලකුණ බැගින් දඬුවම් කරලා තියනවා.”

පළමු අළුබඳුන ටෙස්ට් තරගය කඩුලු 9කින් පරාජයට පත් වීමට එංගලන්තයට සිදු වුනා. පසුගිය ජූලි-අගෝස්තු මාසවල දී ඉන්දියාවට එරෙහිව පැවති තරගාවලියේ දී දුර්වල පන්දුවාර සංඛ්‍යාවක් පවත්වා ගැනීම නිසා එංගලන්තයට දඬුවම් ලකුණු ලබා දී තිබුණා. ඒ අනුව ඔවුන්ට මේ දක්වා මන්දගාමී පන්දුවාර සඳහා මුළු දඬුවම් ලකුණු 10ක් ලබා දී තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<