පාකිස්තාන වේගපන්දු යවන්නාට ආසියානු කුසලානය අහිමි වෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

324

දකුණු කකුලේ දණහිසේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් පාකිස්තාන ප්‍රධාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Afridi හට මෙම මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය අහිමි වන බව පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර සිටියා.

මෙම ආබාධය නිසාවෙන් ඔහුට සති 4 හෝ 6ක කාලයක් විවේක ගැනීමට සිදු වන නිසාවෙන් එංගලන්තය සමඟ පාකිස්තානයේ දී පැවැත්වෙන තරගාවලිය ද ඔහුට අහිමි වන නමුත් ඔහු නවසීලන්ත තරගාවලියට පෙර නැවත ක්‍රීඩා පිටියට පිවිසීමට සූදානමින් පසුවන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දී Shaheen Afridi මෙලෙස ආබාධයට ලක් වූ අතර ඔහුට එම තරගාවලියේ ද අනෙක් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුනේ නැහැ.

ඔහුගේ ආබාධය පිළිබඳව අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි Najeebullah Soomro ප්‍රකාශ කළේ,

“මම Shaheen සමඟ කතා කළා, ඔහු ඇත්තටම කනගාටු වෙනවා ඔහුට මේ තරගාවලිය අහිමි වෙන එක ගැන. නමුත් ඔහු බුද්ධිමත් තරුණයෙක්. ඒ නිසා ඔහු බලන් ඉන්නවා ශක්තිමත්ව නැවත පැමිණිලා කණ්ඩායමට සේවය කරන්න.

ඔහු මේ වන විටත් හොඳ ප්‍රගතියක් ලබා තියෙන්නේ. ඒත් ඔහුට තව ටිකක් වැඩි පුර කාලය අවශ්‍යයි. ඔහු ඔක්තෝබර් මාසය වෙද්දී නැවතත් තරගකාරී ක්‍රිකට්වලට පැමිණෙයි.

පාකිස්තාන වෛද්‍ය මණ්ඩලය එම ක්‍රීඩකයා සමඟ සමීපව කටයුතු කරමින් හැකි ඉක්මනින් ඔහුව ආරක්ෂිතව තරගකාරී ක්‍රිකට් පිටියට ගේන්න අවශ්‍ය කටයුතු සිදු කරනවා.”

Shaheen Afridi පාකිස්තානය නම් කරන ලද ආසියානු කුසලාන සංචිතයට ද ඇතුළත් වූ අතර ඔහුගේ ආදේශක ක්‍රීඩකයා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉදිරියේ දී නම් කරනු ඇත.

තරගාවලියට නම් කළ පාකිස්තාන සංචිතය: Babar Azam (c), Shadab Khan, Asif Ali, Fakhar Zaman, Haider Ali, Haris Rauf, Iftikhar Ahmed, Khushdil Shah, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jnr, Naseem Shah, Shahnawaz Dahani, Usman Qadir.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<