“ලෙජන්ඩ්ස් තරගයක් තියන එක සුදුසු නැහැ” – තිලකරත්න ඩිල්ශාන්

694
TM Dilshan not happy with proposed Legends

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට යෝජනා කර තිබෙන තරගය පැවැත්වීම මේ මොහොතේ දී නුසුදුසු ක්‍රියාවක් බව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් පවසා සිටිනවා.

හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වූ ඩිල්ෂාන් එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා තිබෙන්නේ තමා නායකත්වය ලබා දෙන ලෙජන්ඩ්ස් කණ්ඩායම මේ වන විට ඉතාමත් හොඳ මට්ටමක සහ රිද්මයක සිටින නිසාවෙන් පැවැත්වීමට යෝජිත තරගයේ දී ලෙජන්ඩ්ස් කණ්ඩායමට වාසිදායක ලෙස තරගය නිමාවුවහොත් එයින් ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් හට විශාල මානසික බලපෑමක් එල්ල වීමට ඉඩක් තිබෙන බවයි.

තවත් ක්‍රිකට් පුවත්:

අත්දැකීම් බහුල සහ ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස මේ මොහොතේ දී අප වැනි ක්‍රීඩකයින් විසින් කළ යුත්තේ එළඹෙන ලෝක කුසලානය සඳහා සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිරිමත් කරමින් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය  මානසික ශක්තිය ලබා දීම බව ද ඩිල්ශාන් මෙහි දී පවසා තිබෙනවා.

කෙසේ නමුත් මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින ඩිල්ශාන් ලෙජන්ඩ්ස් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක්වුණු අතර ඔහු තරගාවලිය නිමා වීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින අතර මේ තරගය පැවැත්වෙන ආකාරය හෝ දිනය පිළිබඳව තමන් වෙත හෝ කණ්ඩායම් කළමනාකරු වෙත තවමත් නිල වශයෙන් දැනුම් දී නොමැති බව ද තිලකරත්න ඩිල්ෂාන් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<