ලෙජන්ඩ්ස් තරගයට දින වැටෙයි; ප්‍රේක්ෂකයින්ට කණගාටුදායක පුවතක්

231

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රේක්ෂකයින් හට ඉඩක් ලබා දීමට අවස්ථාවක් නොමැති බවත්, ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගය සඳහා ප්‍රේක්ෂකයින් යම් ප්‍රතිශතයකට ඉඩක් ලබා දීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පත් කළ පුද්ගලයන් පස්දෙනෙකුගෙන් යුත් විශේෂ කළමනාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා සිටියා. ඒ අද (7) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඒ අනුව ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගය මැයි මස 4 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත අතර එහි දී ප්‍රේක්ෂකයින් මිල දී ගනු ලබන ටිකට් පත්වල මුදල් පුණ්‍ය කටයුතු සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා එහි දී වැඩිදුරටත් පවසා සිටියා.

“ශ්‍රී ලංකා වත්මන් ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ 1996 ලෝක කුසලාන දිනා ගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගය අපි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කළත්, රාත්‍රි කාලයේ දී කෘතීම ආලෝක තත්වය හොඳ මට්ටමක නොමැති නිසාවෙන් අපිට මේ තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියට අරගෙන යන්න වුනා. ඒ වගේම මේ තරගයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හටත් අවස්ථාව ලබා දීමට අපි සැලසුම් කර තිබෙනවා” යැයි මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා සිටියා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ වසර 10 කට වැඩි කාලයක් කළමනාකරණ තනතුරු හොබවා ඇති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා තහනම් උත්තේජන කටයුතු සම්බන්ධ ආයතනයේ මෙරට ප්‍රධානියා ලෙසින්ද කටයුතු කරනවා. ක්‍රිකට් ආයතනයේ කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් පත්කරන ලද කළමනාකරණ කමිටුවේ ප්‍රධානියා වශයෙන් පත්ව සිටින මහාචාර්යය වරයාගේ ප්‍රධාන වගකීම වන්නේ නිලවරණය අවසන් වී නව මඩුල්ලක් පත්වන තෙක් ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමයි.

“මට හරියටම සති 6 ක කාලයක් ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ටී-20 මැච් එකක්. ටෙස්ට් මැච් එකක් නොවෙයි. ඒකෙනුත් සති 2 ක් අලුත් අවුරුද්දට යනවා. එහෙම බැලුවහම සාමාන්‍යයෙන් මාසයක් වගේ කාලයක් තමයි අපිට මෙහි කටයුතු කරන්න පැවැරිලා තියෙන්නේ” යි සිනහමුසු මුහුණින් යුතුව මාධ්‍ය හමුවට මුල පිරුවා.

“මෙම තනතුර භාරගන්න එක හේතුවක් තමයි, මීට පෙර මම රජයේ අමාත්‍යාංශ 7 ක වැඩ කරලා ලබා ගත් අත්දැකීම්වලින් ක්‍රිකට් ආයතනයේ කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක මට හොඳ අවස්ථාවක් වුණා” යැයි සඳහන් කර සිටි මහාචාර්යය වරයා ඒ සඳහා තමන්ට ඉතා හොඳ කණ්ඩායමක් ලැබී තිබෙන බවද සඳහන් කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට විවර නොකරන නමුත් එම තරගාවලිය ආවරණ කටයුතු කිරීම සඳහා මාධ්‍යවේදීන් හට අවස්ථාව ලබා දීමට නියමිත බව ද මෙහි දී අනාවරණය වුනා.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හට මේ මස 11 වැනිදා COVID- 19 වයිරසය සඳහා ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට කටයුතු කරන බව ද මෙහි දී අනාවරණය වුනු අතර එම ක්‍රීඩකයින්ගේ කැමැත්ත අනුව එම ප්‍රතිශක්තිකරණ එන්නත් ඔවුන්ට ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා නමුත් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජය ගැනීම මිස වෙන කිසිවක් තමන් ක්‍රීඩකයින් වෙනුවෙන් අනිවාර්යය නොකළ බවද සිනහමුසු මුහුණින් යුතුව මහාචාර්යවරයා මෙහිදී අදහස් දක්වා සිටියා.

“තරගාවලිය දිනන එක ඇරෙන්න අනෙක් කිසිම දෙයක් අනිවාර්යය කළේ නෑ. අපි ක්‍රීඩා කරන්නේ බංග්ලාදේශ*යත් එක්ක නිසා මේ තරගාවලිය කොහොම හරි දිනන්න කියලා මම කණ්ඩායමෙන් ඉල්ලා සිටියා.” යි අර්ජුන ද සිල්වා ඔහුගේ වචනවලින් සඳහන් කර සිටියා.

එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානමින් සිටින නමුත් කොදෙව් සංචාරය අතරතුර ආබාධයකට ලක්වූ ලසිත් ඇඹුල්දෙණියගේ සහභාගීත්වය විශ්වාස නොමැති බවත්, එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා සිටියා.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පුහුණු තරගය අප්‍රේල් 17 සහ 18 යන දෙදින තුළ කටුනායක දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

ඉන් පසුව තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 21 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර දෙවැනි ටෙස්ට් තරගය එම ක්‍රීඩාංගණයේ දී ම අප්‍රේල් 29 වැනිදා සිට මැයි 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<