සිනෙත්ගේ මංගල ශතකයට අශේන්ගෙන් කඩුලු 5ක්

19න් පහළ පාසල් දෙදින ක්‍රිකට් තරගාවලිය 2022

516
U19 Schools Cricket Tournament 2022

වයස අවුරුදු 19න් පහළ සුහද පාසල් දෙදින ක්‍රිකට් තරග මාලාවේ තවත් තරග කිහිපයක් අද (22) කොළඹ දී ක්‍රියාත්මක වුනු අතර අද දිනයේ දී ශතකයක් සහ අර්ධ ශතක පහක් වාර්තා වුනා.

එහි දී රාජකීය විද්‍යාලයේ ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන සිය පාසල් කණ්ඩායම වෙනුවෙන් 19න් පහළ තරගාවලිය තුළ ලබාගත් මංගල ශතකය වාර්තා කරගත්තා. පන්දු 127ක දී වාර්තා වුනු ලකුණු 106ක එම ඉනිමට 4 පහර 4ක් සහ 6 පහර 6ක් ඇතුළත් වුනා.

ඊට අමතරව රාජකීය විද්‍යාලයේ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක සදීෂ රාජපක්ෂ (ලකුණු 72), සාන්ත ජෝසප් විද්‍යාලයේ හිරුන් කපුරුබණ්ඩාර (ලකුණු 64), හිරාන් ජයසුන්දර (ලකුණු 61), මුදිත ලක්ෂාන් (ලකුණු 59), ධර්මපාල විද්‍යාලයේ පසිඳු තීක්ෂණ (ලකුණු 50) යන ක්‍රීඩකයින් අද දිනයේ දී අර්ධ ශතක වාර්තා කරමින් දස්කම් දැක්වූවා. සාන්ත ජෝසප් ක්‍රීඩකයින් තිදෙනෙක් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම නිසාවෙන් ආනන්ද විද්‍යාලයට එරෙහිව පළමු දිනය තුළ කඩුලු 7ක් දැවී ලකුණු 251ක් රැස් කරගන්නට සාන්ත ජෝසප් විද්‍යාලයට හැකි වුනා.

කොටහේන සාන්ත බෙනඩික් විද්‍යාලයේ දකුණතින් පිට දඟපන්දු යවන අශේන් ද සොයිසා පන්දුවාර ලකුණු 55කට කඩුලු 5ක් දවාගෙන පළමු දිනය අවසානයේ රාජකීය පළමු ඉනිම 286/7ක් ලෙස පාලනය කිරීමට සිය සහය ලබා දුන්නා. දිනය නිමාවීමත් සමඟම රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටවූවා.

නාලන්දා විද්‍යාලය සහ ධර්මපාල විද්‍යාලය අතර ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු තරගයේ පළමු ඉනිම ජයගැනීමට නාලන්දා ක්‍රීඩකයින් සමත් වුනා.

ලකුණු සාරාංශයන්,

දෙවන දිනයට පැවැත්වුණු තරගය

නාලන්දා විද්‍යාලය සහ ධර්මපාල විද්‍යාලය 

  • කාසියේ වාසිය – ධර්මපාල විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ධර්මපාල විද්‍යාල ක්‍රීඩාංගණය

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 318/7d (65): විනුජ රන්පුල් 96, කුශ්මිත සිල්වා 74, චනුල අතුකෝරල 70*, නිකිල් අබේගුණසේකර 22, තිසර ශිශාර 4/96, කවිඳු ප්‍රිමාල් 2/54.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 204 (78.3): පසිඳු තීක්ෂණ 50, උෂාන් ගලගෙදර 36, හිරුපවන් හොරණගේ 33, සදෙව් සමරසිංහ 2/20.

ධර්මපාල විද්‍යාල දෙවන ඉනිම (F/O) – 6/0 (3):

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග,

සාන්ත ජෝසප් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය

  • කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ආනන්ද විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 251/7 (57): හිරුන් කපුරුබණ්ඩාර 64, හිරාන් ජයසුන්දර 61, මුදිත ලක්ෂාන් 59, නරේන් මුරලිදරන් 30, ටෙහාන් පෙරේරා 2/50.

රාජකීය විද්‍යාලය සහ සාන්ත බෙනඩික් විද්‍යාලය

  • කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය

රාජකීය විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 286/7d (66): සිනෙත් ජයවර්ධන 106, සදීෂ රාජපක්ෂ 72, වෙනුෂ ආකාශ් 30, අශේන් ද සොයිසා 5/55.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග දෙක හෙට (23) දෙවන දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<