ශ්‍රී ලංකා කණ්ඩායමට කොරෝනා එන්නත ලබා දීම ඇරඹේ

182

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව එළඹෙන ඉරිදා (11) ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් වැඩබලන සභාපති ලෙස පත්කෙරුණු මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා තහවුරු කර සිටියා. ඒ Daily Mirror පුවත්පත සමඟින් සාකච්ඡාවකට එක්වෙමින්.

“අපි ක්‍රීඩකයන්ව 11 වැනි ඉරිදා සෞඛ්‍ය අමාත්‍යාංශයට ගෙන්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එදාම ඔවුන්ට එන්නතේ පළමු මාත්‍රාව ලබා දෙන්න නියමිතයි. ඉන්දියාවෙන් ගෙන්වන ලද AstraZeneca COVID-19 එන්නත තමයි මේ විදිහට අපි ලබා දෙන්නේ” මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා සිටියා.

“එන්නතේ දෙවෙනි මාත්‍රාව අපි තවත් මාස 2-3කින් අනතුරුව ලබා දෙන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ අනුව සම්පූර්ණ ජාතික සංචිතයටම අපි එන්නත ලබා දෙනවා. ටෙස්ට් ක්‍රීඩකයන්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල ක්‍රීඩකයන් වගේම සහය කාර්‍යමණ්ඩලයේ නිලධාරීන් සහ සෙසු නිලධාරීන්ටත් එන්නත ලබා දෙන්න සැලසුම් කරලා තියනවා.” 

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක් සඳහා එක්වූ අතර එහි ටෙස්ට් තරගාවලිය නිමා කළ කණ්ඩායම පසුගිය සඳුදා (05) මෙරටට පැමිණියා. 

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගාවලිය එළඹෙන අප්‍රේල් මස 21 වැනිදා බංග්ලාදේශය සමඟින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

බංග්ලාදේශ තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වන අතර එම තරග දෙකම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය තවමත් නම් කර නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<