තරහ ගිය හිටපු පුහුණුකරුවා ක්‍රිකට් පාලක මණ්ඩලයට දෙහි කපයි

2209
(Sky)

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුහුණුකරු Justin Langer ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ දී ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර විශේෂයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලයේ අන්තර්වාර සභාපති ලෙස කටයුතු කළ Richard Freudensteinට ඔහු ප්‍රබල විවේචනයක් එල්ල කර තිබුණා.

51 හැවිරිදි Justin Langer පසුගිය පෙබරවාරි මාසයේ සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා. ඔහුට මාස 6ක කොන්ත්‍රාත්තු දිගු කිරීමක් ඉදිරිපත් කළත්, ඕස්ට්‍රේලියාව විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කරා රැගෙන ගිය Langer, දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් බලාපොරොත්තු වී තිබීම එයට හේතුවක් වී තිබුණා.

සිය ධුරයෙන් සමු ගත් දිනට පසු දින ඔහු හා Freudenstein අතර උණුසුම් සංවාදයක් ද ඇතිව තිබුණා. Langerගේ හිටපු සගයින් වන Mark Waugh, Adam Gilchrist, Ricky Ponting, Steve Waugh, Matthew Hayden හා Shane Warne ද ඔහුගේ සහයට පැමිණියේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය Langerට සැලකූ ආකාරය ගැන ප්‍රශ්න නගමිනුයි.

ඔයාගේ යහළුවන් ඔක්කොම මාධ්‍ය ඔස්සේ ඔයාට සහය දක්වන එක ගැන ඔයාට සතුටු ඇති, කියන එක තමා Freudenstein ඉස්සෙල්ලම මට කිව්වේ”, Perth හි පැවති උත්සවයක දී අදහස් දක්වමින් Langer පවසා තිබුණා.

මම කිව්වා, එහෙම තමයි වැඩබලන සභාපතිතුමනි‘, ඔවුන් ඔක්කොම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයෝ. ඔවුන් තමා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ සාරය වුනේ. ඔවුන් තමා ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට්. ඔවුන් ලෝකය වටේම ක්‍රිකට් කණ්ඩායම් සමඟ කටයුතු කරනවා. ඒ නිසා ඔව්, මට සතුටුයි මගේ සගයෝ මම ගැන හොයලා බලනවට”

පුදුමයකට වගේ මගේ වසර 12ක ක්‍රීඩා දිවියේ හොඳම කාලය වුනේ අවසන් මාස 6. අපි ඔක්කොම දින්නා පමණක් නොවෙයි, මට ශක්තිය තිබුණා, ඉලක්කයක් තිබුණා මේ ජරා දේශපාලනය නොවන්නට මම සතුටෙන් සිටියා.”

Chris Silverwood ඉවත් කිරීමෙන් අනතුරුව එංගලන්තයේ පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට තමන්ට කිසිවෙකු ආරාධනා නොකළ බව ද Langer පවසා සිටියා. Silverwood ඉවත් කිරීම හා Langer කණ්ඩායමෙන් ඉවත් වීම එකම කාලයක සිදු වූ නිසා බොහෝ මාධ්‍ය විශ්වාස කළේ Langer එංගලන්ත කණ්ඩායම හා සම්බන්ධ වනු ඇති බවයි.

මම කවදාවත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ක කතා කරලා නැහැ”, Langer පවසා සිටියා.

හිටපු එංගලන්ත නායක Andrew Strauss මට කතා කළා මම අයින් වුණු දවසේ. නමුත් මම ඔහුව ගොඩ කාලයක ඉඳලා දැනගෙන හිටියා. ඒ ඇරෙන්න මම එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ක කතා කරලා නැහැ.”

Hindustan Times ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<