ලංකාවට වැස්ස ගැන ප්‍රශ්න, පාකිස්තානයට ආලෝකය ගැන ප්‍රශ්න

Asia Cup 2023

3247

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට වර්ෂාවට අමතරව ආලෝකය අහිමි වීමෙන් පවා ගැටලු මතු වීමට පටන් ගෙන තිබෙනවා.

මෙවර තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ පළමු තරගය ඊයේ බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ලාහෝරයේ Gaddafi ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය විසින් සියල්ලන් ම දැවී ලකුණු 193ක් ලබා ගත් අතර මෙම ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි පාකිස්තාන ආරම්භ පිතිකරු යුගලය වූ Fakhar Zaman සහ Imam-ul-haq හට වැඩි වේලා පිතිකරණයේ යෙදීමට ඉඩ හසර විවර වුනේ නැහැ.

පාකිස්තාන ඉනිමේ පස්වැනි පන්දුවාරය නිමා වීමෙන් පසුව ක්‍රීඩාංගණයේ විදුලි පහන් නිවී යාම හේතුවෙන් තරගය මදකට නතර කිරීමට සිදු වුනා.

මේ නිසා මිනිත්තු 18-20 අතර කාලයක් තිස්සේ අඳුරු ආලෝක තත්වය නිසා තරගය පැවැත්වීමට නොහැකිව සිටි අතර තවමත් මෙම විදුලි පහන් ක්‍රියා විරහිත වීමට හේතුව හඳුනා ගෙන නොමැති බවයි දැන ගැනීමට ලැබෙන්නේ.

මෙය ඒ තරම් ම විශාල ගැටලුවක් නොවුන ද තරගාවලියේ සත්කාරකත්වය රඳවා ගැනීම වෙනුවෙන් විශාල වෙහෙසක් දැරූ පාකිස්තාන පාර්ශවයට එතරම් හොඳ ප්‍රතිරූපයක් ඇති නොකරන බවයි ඉන්දීය වෙබ් අඩවියක් වන Hindustan Times විසින් සඳහන් කරන්නේ. විශේෂයෙන්ම මෙම සිදුවීම නිසා සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් පාකිස්තාන ක්‍රිකට් තරමක් හෑල්ලුවට ලක් කරන බවත් දකින්නට ලැබෙනවා.

“පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය විදුලි ආලෝක දෝෂයක් නිසා නවතා දමා ඇති අතර, ඔවුන්ට සම්පූර්ණ ආසියානු කුසලානය සහ 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලියත් පැවැත්වීමට අවශ්‍ය වුනා.”

කෙසේ වෙතත් මිනිත්තු විස්සක පමණ පමාවකින් පසු නැවත සිය හඹා යාම ආරම්භ කළ පාකිස්තානය විසින් පහසුවෙන් බංග්ලාදේශය විසින් ලබා දුන් ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනේ දැනට සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ ලකුණු සටහනේ පෙරමුණ ලබා ගනිමිනුයි.

මේ අතර පාකිස්තානයට ආලෝකය බාධා කරද්දී, තරගාවලියට සම සත්කාරකත්වය ලබා දෙන ශ්‍රී ලංකාවට වර්ෂාවෙන් බාධා පැමිණේවි ද යන්නත් බරපතළ ගැටලුවක් බවට පත් වී තිබෙනවා. කෙසේ වෙතත් ඒ පිළිබඳ එළඹෙන සෙනසුරාදා (09) පටන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉතිරි ආසියානු කුසලාන තරග වල දී දැක ගැනීමට ලැබෙනු ඇති.

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<