එංගලන්තයෙන් ලංකාවට ආපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

381

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ඊයේ (3) මෙරටට පැමිණි එංගලන්ත සංචිතයේ සිටි Moeen Ali හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණීමෙන් පසුව සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් Ali හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙන නමුත් එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමට පෙර එංගලන්තයේ දී සිදු කළ PCR පරීක්ෂණයේ දී ඔවුන්ගේ ක්‍රීඩකයින් ඇතුළු සෙසු නිලධාරීන් හට කොරෝනා වයිරස ආසාදනය වී නොමැති බව තහවුරු විය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින නිරෝධායන නීතිරීතිවලට අනුව ඔහුව දින 10ක කාලයක් සඳහා ස්වයං නිරෝධායනයට යොමු කරනු ලබන අතර තුන් ඉරියව් ක්‍රීඩක Ali සමඟ සමීපව ඇසුරු කර තිබෙන Chris Woakes ද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

තවත් ක්‍රිකට් පුවත්

එසේම හෙට (5) උදෑසන එංගලන්ත ක්‍රීඩකයින් ඇතුළු සියලුම දෙනා තවත් PCR පරීක්ෂණයක් සඳහා යොමු කරනු ලබන අතර එහි ප්‍රතිඵල අනුව ඔවුන් එළඹෙන බදාදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ දී සිය පුහුණු සැසිය දියත් කිරීමට දැනට සැලසුම් කර තිබේ.

තවද Moeen Ali සහ Chris Woakes අද දිනයේ සිට දින 10ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කරනු ලබන නිසාවෙන් ඔවුන් දෙදෙනාට පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මඟ හැරීමට වැඩි ඉඩක් තිබේ.

ජෝ රූට්ගේ නායකත්වය යටතේ ඊයේ (3) දිනයේ දී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා මෙරටට පැමිණෙන එංගලන්ත කණ්ඩායම ජනවාරි 26 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත අතර එම කාලය තුල ඔවුන් ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුල රැඳී සිටීමට නියමිතය. ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ සියලු තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය: Joe Root (නායක), Moeen Ali, James Anderson, Jonathan Bairstow, Dom Bess, Stuart Broad, Jos Buttler, Zak Crawley, Sam Curran, Ben Foakes, Dan Lawrence, Jack Leach, Dom Sibley, Olly Stone, Chris Woakes, Mark Wood.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් ලෙස පසුගිය මාර්තු 19 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වූයේ කොරෝනා වයිරසයේ බලපෑම ශ්‍රී ලංකාව තුලත් ව්‍යාප්තව ගිය නිසාවෙනි. ඒ වන විටත් එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි සිටි අතර ඔවුන් ක්‍රීඩා කරමින් සිටි පුහුණු තරගය ද අතර මඟ දමා නැවතත් සිය මව් රට බලා යාමට එංගලන්තය කටයුතු කළේය.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

  • පළමු ටෙස්ට් තරගය – ජනවාරි 14-18 – ගාල්ලේ දී
  • දෙවන ටෙස්ට් තරගය – ජනවාරි 22-26 – ගාල්ලේ දී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<