තෝමසුවන් ජයග්‍රහණයක් සමඟින් පළමු වටය අවසන් කරයි!

Dialog පාසල් ලීග් රග්බි තරගාවලිය 2022

383

2022 Dialog පාසල් රග්බි ලීග් තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර අද (31) පැවති තරගය ලකුණු 36-05ක් ලෙස ජය ගන්නට සාන්ත තෝමස් ක්‍රීඩකයින් සමත් වුනා. තරගය පැවැත්වුණේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දීයි.

සාන්ත තෝමස් ක්‍රීඩකයින් තරගයට හොඳ ආරම්භයක් ලබා ගත්තේ මිනිත්තු කිහිපයක් තුළ ලකුණු පුවරුව ලකුණු 10-00ක් බවට පත් කරමිනුයි. ඔවුන් උත්සාහක දිනුම් දෙකක් රැස් කර ගත් අතර එම උත්සාහක දිනුම් දෙකම ලියැවුණේ අකිර පෙරේරාගේ නමටයි.

අනතුරුව කිංග්ස්වුඩ් කණ්ඩායම තරගයට රැගෙන එමින් එල්. ධර්මසේන උත්සාහක දිනුමක් රැස් කර ගන්නට සමත් වුනා. එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නට ඔවුන්ට නොහැකි වුනත් ඉන් අනතුරුව ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගන්නට ඉමංක ඉෂාර සමත් වුනා. (කිංග්ස්වුඩ් 08-10 සාන්ත තෝමස්)

පළමු අර්ධය නිමාවට පෙර සාන්ත තෝමස් කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් රැස්කර ගත්තා. එම උත්සාහක දිනුමට හිමිකම් කීවේ ඩී. ප්‍රනාන්දු. යෙහාන් බුලත්සිංහල අමතර ලකුණු එකතු කළා.

පළමු අර්ධය: කිංග්ස්වුඩ් විද්‍යාලය 08 17 සාන්ත තෝමස් විද්‍යාලය

දෙවැනි අර්ධය සම්පූර්ණයෙන්ම සියතට ගන්නට සාන්ත තෝමස් ක්‍රීඩකයින් සමත් වුනා. ආර්. කුරුකුලසූරිය උත්සාහක දිනුමක් රැස් කරද්දී, බුලත්සිංහලගේ අමතර ලකුණු එකතු කළා. (කිංග්ස්වුඩ් 08-24 සාන්ත තෝමස්)

කිංග්ස්වුඩ් ආරක්ෂක වළල්ල අන්දමන්ද කළ ආර්. ද සිල්වා වේගවත් ධාවනයක යෙදෙමින් පස්වැනි සාන්ත තෝමස් උත්සාහක දිනුම වාර්තා කළා. ජී. ලෙනගල සයවැනි වරටත් සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් ධවල රේඛාව ඉක්මවා යද්දී එම්. පෙරේරා අමතර ලකුණු එකතු කරන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: සාන්ත තෝමස් විද්‍යාලය 36 (6T 3C) – 08 (1T 1P) කිංග්ස්වුඩ් විද්‍යාලය

NDB තරගයේ වීරයා – අකිර පෙරේරා (සාන්ත තෝමස්)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයෝ

  • සාන්ත තෝමස් – අකිර පෙරේරා 2T, ඩී. ප්‍රනාන්දු 1T, ආර්. කුරුකුලසූරිය 1T, ආර්. ද සිල්වා 1T, ජී. ලෙනගල 1T, එම්. පෙරේරා 1C, යෙහාන් බුලත්සිංහල 2C,
  • කිංග්ස්වුඩ් – එල්. ධර්මසේන 1T, ඉමංක ඉෂාර 1P

Dialog පාසල් රග්බි ලීග් තරගාවලියේ උණුසුම සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<