ජාත්‍යන්තර ක්‍රිකට් අතැර හොකී වැළඳ ගත් හර්බට් විජේකෝන්

931
Herbert Wijekoon

එය අද සිටින ක්‍රීඩකයෙකු විසින් කිසිසේත්ම නොගන්නා තීරණයක් විය හැකි ය. තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුපිරි දස්කම් පාමින් සිටිය දී ක්‍රිකට් අතැර හොකී ක්‍රීඩාව තෝරාගැනීම? එහෙත් ’70 දශකයට පෙර විසූ ශ්‍රී ලාංකිකයන්ට තිබූ තෝරාගැනීමේ නිදහස එවැන්නකි.

හර්බට් විජේකෝන් හට සිලෝන් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට කෙතරම් ආරාධනා ලැබුනත්, ඔහුගේ වැඩි ප්‍රේමය තිබුණේ හොකී ක්‍රීඩාවට ය. මාතලේ උපන් ඔහුට හොකී හැර වෙනත් අභියෝගාත්මක ක්‍රීඩාවක් නොතිබෙන්නට ඇත.

ශ්‍රී ලංකා හොකී කණ්ඩායමෙන් ලෝක හොකී කණ්ඩායමට ද තේරී පත්වූ රංජිත් විජේකෝන් ගැන ලිපියක් මින් පෙර ඔබ වෙනුවෙන් ලිවීමි. “විජේකෝන් ක්‍රීඩා පවුලේ” 60කට වැඩි ජාතික ක්‍රීඩකයන් ගැන සිහිකිරීමේ දී අත් හරින්නට නොහැකි රංජිත්ගේ වැඩිමහල් සොයුරු හර්බට් විජේකෝන්, මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සැලකේ. ඊට හේතු කිහිපයක් ඇත.

සාන්ත තෝමස් විද්‍යාලයේ සෑම කණ්ඩායම් ක්‍රීඩාවකම පාහේ නායකත්වය ඔහු විසින් දරා ඇත. පාපන්දු, මලල ක්‍රීඩා, ක්‍රිකට්, හොකී යන ක්‍රීඩා රැසක නායකත්වය දැරූ ඔහු විශේෂ සිසුවෙකු විය. මාතලේ පාසල් අතර බොක්සිං තරගාවලියේ ලයිට් වෙයිට් අංශයේ අවසන් මහා තරගයට පිවිසි හර්බට් හට ප්‍රතිවාදී අන්තයෙන් විජය විද්‍යාලයේ රිචඩ් විජේකෝන්ව හමුවීම දෛවෝපගත විය. ඔවුන් දෙදෙනා ඥාතීන් ය. කිසිදා පරාජය පිළිගන්නට නොකැමැති වූ හර්බට් එදා  සහෝදරකම වෙනුවෙන් පරාජය පිළිගෙන පැවසුවේ වැඩිමහල් සහෝදරයෙකුට පහරදීම තමන්ට කළ නොහැක්කක් බැවින් ජයග්‍රහණය ඔහුට ලබා දෙන ලෙසයි.

හර්බට් විජේකෝන්
හර්බට් විජේකෝන්

එළිසබෙත් රැජිණගේ රාජකීය හමුදාවේ පටන් මේ දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවට විශිෂ්ට නිලදරුවන් නිමැවීමේ දී මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය විශේෂ තැනක් ගනියි. යුද හමුදාපති ධුරය ද හෙබවූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එහි ආසන්නතම උදාහරණයයි. එබැවින් සාන්ත තෝමස් විද්‍යාලයීය ශිෂ්‍ය භට ඛණ්ඩය වැදගත් තැනක් ගනියි. හර්බට් විජේකෝන් එහි සැරයන් තනතුර දැරූ ශිෂ්‍යයායි. එමෙන්ම ඔහු ඔහුගේ ශිෂ්‍ය බලඇණියේ රෙජිමේන්තු සැරයන්වරයායි (RSM).

ඔහු විශිෂ්ට හොකී ක්‍රීඩකයෙකි. මාතලේ යෞවන යෞවනියන්ට ලේ උරුමයෙන් ජානගත වන හොකී ක්‍රීඩාව මේ වන විට බලාපොරොත්තු ඇති කරන මට්ටමේ නැති වුවත්, මින් පෙර දශකවල දී මාතලේ ක්‍රීඩකයන් අභිබවා යන්නට හැකි හොකී ක්‍රීඩකයන් සිටියේ අතලොස්සකි. මාතලෙන් බිහි වූ විශිෂ්ටතම හොකී ක්‍රීඩකයන් අතර මුදුන් මල් කිහිපයෙහි හර්බට් විජේකෝන් සුවඳ දෙයි. ’50/60 දශකවල දී මාතලේ මෙන්ම ඉන්පසුව ශ්‍රී ලංකාව ද බැබළ වූ හොකී ක්‍රීඩකයෙකු ලෙස හර්බට් විජේකෝන්ව හැඳින්විය හැක. හර්බට් විජේකෝන්ගේ හොකී දස්කම් ගැන වෙනම කතා කළ යුතුය.

ඉහත සඳහන් දස්කම් පෑ සිසුවෙකු ඔබේ පාසලේ සිටියහොත් ඔබ ඔහුව අගයන්නේ කුමන තනතුරින් ද? සාන්ත තෝමස් විද්‍යාලයීය ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරයට ඔහු තරම් ගැළපෙන වෙනත් කිසිවෙකු නොවීය. ඔහු පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායකයායි. ඒ වනවිට කතෝලික නැමියාවක් තිබූ සාන්ත තෝමසුවේ කතෝලික නොවන පළමු ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට ඔහු පත්වීම ඓතිහාසික ය.

පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ඔහු දක්ෂ ආරම්භක පිතිකරුවෙකි.  වෙළඳසේවා “A” කාණ්ඩය නියෝජනය කළ Aitken Spence සමාගම් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වූ ඔහු රොනී රීඩ් හෝ මයිකල් තිසේරා සමඟින් ඉනිම ආරම්භ කළේය. මාතලේ තෝමසුවේ හර්බට් විජේකෝන් සමඟින් ගල්කිස්ස තෝමසුවේ රොනී රීඩ් හෝ මයිකල් තිසේරා… අලංකාර සම්බන්ධතාවයක් නොවේ ද?

හර්බට් (වමේ) සහ රොනී (දකුණේ) පිතිකරණයට එමින්

ඒ සම්බන්ධතාවේ අලංකාරය ගැන කිවහොත්, 1965 දී නෙස්ලේ කණ්ඩායමට එරෙහිව පැවති තරගයක පළමු කඩුල්ල වෙනුවෙන් හර්බට් විජේකෝන් සහ රොනී රීඩ් ලකුණු 328ක නොබිඳුණු සබඳතාවක් පවත්වා ඇත. එහි දී හර්බට් විසින් නොදැවී ලකුණු 178ක් වාර්තා කළේය. හොකී ක්‍රීඩාව නිසා ලැබී තිබූ උසස් ශාරීරික යෝග්‍යතාවය මෙන්ම දෑසෙහි සහ දෑතෙහි සමායෝජනය ඔහුගේ ක්‍රිකට් පිතිකරණයේ දී කැපී පෙනිණි.

එවකට සිලෝන් නමින් හැඳින්වූ මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වන්නට ඇරයුම් ලැබුනත්, ඔහු එය පසෙකලා හොකී ක්‍රීඩාව සමඟින් රැඳුණේය. පසුකලෙක මයිකල් තිසේරා යනු සිලෝන් කණ්ඩායම විසින් පළමු වරට ටෙස්ට් කණ්ඩායමක් පරාජය කළ අවස්ථාවේ කණ්ඩායමේ නායකයා ය. හර්බට් ඒ ගමන අතරමග නතර කළේය. 1975 ලෝක කුසලාන තරගාවලිය ද නියෝජනය කළ තිසේරා තම ක්‍රිකට් සගයෙකු වූ හර්බිව හඳුන්වන්නේ සුවිශේෂී පිතිකරුවෙකු වශයෙනි.

මේ පිළිබඳ මතකයන් රාශියක් සහිත ඔහුගේ පුත් විශ්‍රාමික බ්‍රිගේඩියර් සජිත් ශාමේන්ද්‍ර විජේකෝන් ඉහත තොරතුරු ලබා දෙන්නේ ඉමහත් සතුටිනි.

1931 නොවැම්බර් 11 වැනිදා ඩේවිඩ් විජේකෝන් සහ අලුවිහාරේ පුංචිකුමාරිහාමිට දාව උපන් හර්බට් විජේකෝන්, පවුලේ දෙවැනි පිරිමි දරුවා ය. හොකී ක්‍රීඩාව දෑඟිලි මත සිරකොටගෙන උපන් ඔහු ඇසුරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම හොකී ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැකි, බාල සොයුරු රංජිත් විජේකෝන් ද ඇතුළුව චන්ද්‍රා, මානෙල්, සුජාතා නම් වූ සොයුරියන් ද වැඩිමහල් සොයුරා වූ ඩග්ලස් විජේකෝන් ද හොකී කප්පිත්තන් විය.

මාතලේ විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීම ඇරඹූ හර්බට් අටවැනි ශ්‍රේණියේ දී මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් විය. “හර්බි” නම් සුරතල් නාමයෙන් හැඳින්වූ හර්බට්, පාසලේ සියලු කණ්ඩායම් ක්‍රීඩාවල දී දස්කම් දැක්වීය.

“මැන්ඩර්ස් කුසලාන” හොකී තරගාවලිය මාතලේ දී ඇරඹෙන්නේ 1943 දීයි. එහි දී කුඩා සිසුවෙකු ලෙස ක්‍රීඩා කරමින් මුල්ම තරගාවලියේ ශූරතා රස පහස විඳගත් හර්බි, 1951 දී සිය නායකත්වය යටතේ ද මැන්ඩර්ස් ශූරතාවය පාසල වෙත රැගෙන ගියේය.

පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් පසුව පේරාදෙණිය සරසවියට ඇතුළත් වීමේ වරම් ලද හර්බට්, ඒ ගැන උනන්දුවක් නොදක්වා තම පාසලේ ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරයෙකු ලෙස සේවයට එක්විය. පසුව හොකී තරගයක දී ඔහුව දුටු Aitken Spence පාලනාධිකාරය ඔහුව ක්‍රිකට් සහ හොකී ක්‍රීඩකයෙකු ලෙස සිය ආයතනයට බඳවා ගත්තේ විධායක තනතුරක් ද පිරිනමමිණි.

1951 දී ඔහු හොකී ජාතික කණ්ඩායමට යන්නට සුදුසුකම් ලැබීය. ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස ළාබාල වියෙහිදීම කැපී පෙනෙන දස්කම් වලින් යුක්ත වූ ඔහු 1962 දක්වා එහි ප්‍රබල ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු ද විය.

හර්බට් විජේකෝන් ගැන එකල සඟරාවක සටහන් වූ ඡායාරූපයක්

1956 දී පළමු වරට ජාතික හොකී ශූරතා තරගාවලිය ගාලු මුවදොර දී පැවැත්විණි. වෙළඳසේවා, කොළඹ, මාතලේ, මහනුවර, ඌව, යාපනය, රාජ්‍ය සේවා සහ ආරක්ෂක සේවා යනුවෙන් කණ්ඩායම් 8ක් තරගාවලියට සහභාගී විය. එවකට මෙරට ජනප්‍රිය ක්‍රීඩාවක් වූ හොකී ක්‍රීඩාවේ පළමු ජාතික ශූරතාවය දිනා ගැනීම සියලු කණ්ඩායම්වල පරම අදිටන විය. Times of Ceylon පුවත් පතින් ඊට වැඩි ප්‍රසිද්ධියක් ලබා දුන් අතර දහස් ගණනින් ප්‍රේක්ෂකයන් ගාලු මුවදොරට ඇදුණි.

වෙළඳසේවා කණ්ඩායම එවකට සිටි ප්‍රබලම කණ්ඩායමයි. සිලෝන් නියෝජනය කළ ජාත්‍යන්තර ක්‍රිකට්/රග්බි සහ හොකී ක්‍රීඩක හියු ඇල්ඩන්ස් ගේ නායකත්වයෙන් පිටියට බට ඔවුන්ගේ කණ්ඩායමේ වර්නන් ජෝජ් ප්‍රින්ස් වැනි ප්‍රබල ක්‍රීඩකයන් ද විය. ප්‍රින්ස් ද හිටපු ජාතික ක්‍රිකට් නායකයෙකි.

ඊට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට්/හොකී ක්‍රීඩක චන්ද්‍රා ෂාෆ්ටර්, වී. එස්. ද ක්රේසර් වැනි ජාත්‍යන්තර හොකී ක්‍රීඩකයන් ඔවුන්ගේ කණ්ඩායමේ සිටියේය. ජනප්‍රියත්වය සහ ප්‍රබලත්වය තිබුණේ ඔවුන්ට ය. ඔවුන් එක් අන්තයකින් අවසන් මහා තරගයට පිවිසියේ අවසන් පූර්ව තරගයේ දී කොළඹ කණ්ඩායම පරාජය කරමිනි.

මාතලේ කණ්ඩායම හැඳින්වුණේ කොළඹින් පිට අභියෝගාත්මක කණ්ඩායම ලෙසයි. එස්. සුබ්බයියාගේ නායකත්වයෙන් තරග බිමට පිවිසි මාතලේ කණ්ඩායමේ උප නායකත්වය දැරුවේ හර්බට් විජේකෝන්ය. ඔවුන් දෙදෙනාම ජාත්‍යන්තර වරම් දිනූ හොකී ක්‍රීඩකයන් වූහ. මාතලේ කණ්ඩායම සියලු ජාතීන්ගේ එකමුතුවක් වීම කැපී පෙනිණි. අවසන් පූර්ව තරගයේ දී ආරක්ෂක සේවා කණ්ඩායම පරාජය කරමින් මාතලේ කණ්ඩායම ද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. “වෙළඳසේවා එදිරිව මාතලේ” හොකී ගැටුම වෙනුවෙන් සියල්ල සූදානම් විය.

මාතලේ සිට බස් රථවලින් ගාලු මුවදොරට පැමිණි හොකී ප්‍රේක්ෂකයින් සහ දිවයිනේ අනෙකුත් හොකී ප්‍රේක්ෂකයන්ගෙන් ගාලු මුවදොර ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරී තිබුණි. අවසන් මහා තරගයේ ප්‍රධාන අමුත්තා වූයේ එවකට මුල් පුරවැසි සහ අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමායි. එවකට ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ භාරකාරත්වය දැරුවේ ද ඔහුයි. ශ්‍රී ලංකාවේ හොකී කොයි මට්ටමේ තිබුණා දැයි ඉන් පැහැදිලි නොවන්නේ ද?

තරගය ඇරඹිණි. පිටියේ මැද පෙළේ සටන තීව්‍ර විය. කරට කර සටන් වැදුණු වෙළඳසේවා සහ මාතලේ කණ්ඩායම් වේගවත්ව ක්‍රීඩා කළේය. දෙපිලම ගෝල 3 බැගින් වාර්තා කළ අතර තරගය නිමා වන විට ලකුණු තත්වය වූයේ 3-3ක් වශයෙනි. එබැවින් කණ්ඩායම් දෙක සම ශූරයන් ලෙස විරුදාවලි ලද්දේ ය.

පසුව පැවැත්වුණු සම්මාන පිරිනැමීමේ උළෙලේ දී 35 දෙනෙකුගෙන් යුත් ජාතික සංචිතයේ නම් ප්‍රසිද්ධ කෙරිණි. ඒ 1957 දකුණු ඉන්දියානු සංචාරය සඳහා සහභාගී වීම වෙනුවෙන් පුහුණුවේ නියැලීම වෙනුවෙනි. එහි මධ්‍ය ඉදිරිපෙළ ක්‍රීඩකයා (Center Forward) ලෙස හර්බට් විජේකෝන්ව තෝරාගෙන තිබිණි.

ජාත්‍යන්තර ක්‍රීඩකයන් සිව්දෙනෙකුට වඩා සිටි වෙළඳසේවා කණ්ඩායම හමුවේ මාතලේ කණ්ඩායම දැක්වූ එම දස්කම ගැන මාතලේ හොකී ප්‍රේක්ෂකයන් උද්දාමයට පත්විය. හර්බට් විජේකෝන් ඇතුළු මාතලේ හොකී කණ්ඩායම බස් රථයක නංවා ගත් ඔවුන් ලෝක ශූරතාවයක් දිනූ කණ්ඩායමක් මෙන් කණ්ඩායම මාතලේට සැපත් කරවීය. එදා මාතලේ නගරය උත්සවශ්‍රීයෙන් බැබළිණි.

පළමු ජාතික හොකී ශූරතා තරගාවලියේ සම-ශූරයන් වූ මාතලේ කණ්ඩායම, මාතලේ ජනතාව විසින් පිළිගත් අයුරු

1957 තරගාවලියේ දී හර්බට් විජේකෝන් මාතලේ කණ්ඩායමේ නායකත්වය දැරීය. එහි දීත් අවසන් මහා තරගය වෙත පැමිණි මාතලේ කණ්ඩායම අනුශූරයන් විය.

2016 වසරේ දී ජාත්‍යන්තර හොකී ක්‍රීඩක හර්බට් විජේකෝන් දිවිසැරියෙන් සමුගත්තේය. ඒ අභිමානවත් ශ්‍රී ලංකා පුත්‍රයෙකු ලෙස ය. 2023 වසර වන විට වසර 150ක ඉතිහාසය සපුරන මාතලේ සාන්ත තෝමස් විදුහල තුළින් එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා හර්බට් විජේකෝන් ය.

ඉතිහාසය මෙවැනි ක්‍රීඩකයන්ගේ වීරත්වයෙන් ලියැවුණකි. එහෙත් ඒ ඉතිහාසය අලුත් කරන ක්‍රීඩකයන් අප විසින් සොයා ගත යුතු ය. තෝමසුවේ, මාතලේ පමණක් නොව මුළුමහත් ශ්‍රී ලංකාවේම පාසල් ක්‍රීඩකයින් අතීත දස්කම්වලට අභියෝග කළ යුත්තේ මෙවැනි විරුවන් මෙරට විසූ බව දැන ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<