ඉසිපතන, ත්‍රිත්ව සහ විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට ජයග්‍රාහී දිනයක්

Dialog පාසල් රග්බි ලීගය 2022

1241

පාසල් රග්බි පිටිය උණුසුම් කරමින් මේ දිනවල පැවැත්වෙන Dialog පාසල් රග්බි ලීගයේ තවත් උණුසුම් තරග කිහිපයක් අද (23) නිමාවට පත් වුනා.

එම තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වූ අතර බම්බලපිටිය සාන්ත පීතර සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය සමව අවසන් වුනා.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය

අවසන් මිනිත්තුව දක්වා උණුසුම් වූ මෙම තරගය නිමාවට පත්වන විට සාන්ත පීතර ක්‍රීඩකයින් සහ වෙස්ලි ක්‍රීඩකයින් ලකුණු 17 බැගින් ලබා ගනිමින් සම තත්වයේ පසු වුනා.

තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට සාන්ත පීතර ක්‍රීඩක විශේන්ක සිල්වා සමත් වූ අතර සාන්ත පීතර නායක සුදේශ් ජයවික්‍රම එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථකව අවසන් කළා.

එම අර්ධය තරමක් පාලනය කිරීමට සත්කාරක සාන්ත පීතර ක්‍රීඩකයින්ට හැකි වූවත් කෙටි වේලාවක් තුළ ක්‍රියාත්මක වූ වෙස්ලි ක්‍රීඩකයින් උත්සාහක දිනුම් ද්විතවයක් වාර්තා කරමින් තරගයට පිවිසියා.

වෙස්ලි වෙනුවෙන් රිගේෂ් මුරලිදරන් සහ වෙස්ලි නායක තරූෂාන් ජයවීර එම උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන අවස්ථා ද්විත්වය ද සාර්ථකව අවසන් කිරීමට ජයවීරට හැකි වුනා.

දෙවැනි අර්ධය තුළ වෙස්ලි ක්‍රීඩකයින් අතින් සිදු වූ වරදකින් ප්‍රයෝජන ගත් සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ අශේන් මධුගස්පේ උත්සාහක දිනුමක් වාර්තා කළ නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සුදේශ් ජයවික්‍රමට හැකි වුනේ නැහැ.

සිය කණ්ඩායමට අවශ්‍ය වූ ලකුණු පරතරය ලබා දෙමින් ලැබූ දඬුවම් පහරක් සාර්ථකව අවසන් කිරීමට තරූෂාන් ජයවීරට හැකි වුනා.

නමුත් තරගය අවසන් වීමට කෙටි වේලාවක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ සාන්ත පීතර ක්‍රීඩක චතුමින නෙත්සර උත්සාහක දිනුමක් සාර්ථකව අවසන් කළේ ලකුණු තත්වය සම කරමිනුයි.

එයින් හිමි වූ ප්‍රවර්තන අවස්ථාව එල්ල කිරීමේ වගකීම සාන්ත පීතර නායක සුදේශ් ජයවික්‍රම ලබා ගත්තත්, එය සාර්ථකව අවසන් කිරීමට ඔහුට නොහැකි වුනා.

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 17 (3T, 1C) – 17 (2T, 2C, 1P) වෙස්ලි විද්‍යාලය

NDB තරගයේ වීරයා: චනුප කුරේ (සාන්ත පීතර විද්‍යාලය)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්

  • සාන්ත පීතර විද්‍යාලය: අශේන් මධුගස්පේ 1T, චතුමින නෙත්සර 1T, විශේන්ක සිල්වා 1T, සුදේශ් ජයවික්‍රම 1C
  • වෙස්ලි විද්‍යාලය: රිගේෂ් මුරලිදරන් 1T, තරූෂ ජයවීර 1T, 2C, 1P

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

කොළඹ හැව්ලොක් පිටියේ දී පැවති මෙම තරගයෙන් ධර්මරාජ ක්‍රීඩකයින් පරදවා ලකුණු 26–12ක ජයග්‍රහණයක් ලබා ගනිමින් සිය අපරාජිකත්වය රැක ගැනීමට ඉසිපතන ක්‍රීඩකයින්ට හැකි වුනා.

සාන්ත පීතර කණ්ඩායමට එරෙහිව ලැබූ ජයග්‍රහණයෙන් ලද ඉහළ මානසිකත්වයෙන් මෙම තරගයට පිවිසි ඉසිපතනය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට Wewela Pandithට හැකි වුනා.

එයට පිළිතුරු වශයෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ධර්මරාජ ක්‍රීඩක N. විජේසිරිට හැකි වූ අතර එහි ප්‍රවර්තන අවස්ථාව ද ඔහු සාර්ථක කර ගත්තා.

එම උත්සාහක දිනුම වාර්තා වීමෙන් මිනිත්තු කිහිපයකට පසුව සිය කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ඉසිපතන ක්‍රීඩක Shahid Zumriට හැකි වූ අතර එහි ප්‍රවර්තන අවස්ථාව ද ඔවුන් සාර්ථක කර ගත්තා.

දෙවැනි අර්ධය තුළ සිය ආධිපත්‍ය පැතිර වූ ඉසිපතනය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට කෙනුල මිහිසරට හැකි වූ අතර එහි ප්‍රවර්තන අවස්ථාව මලිත් මිහිසර සාර්ථකව අවසන් කළා.

ඉසිපතන කණ්ඩායමේ ලකුණු පරතරය තවත් වැඩි කරමින් කෙවින් තරූෂ විසින් ඉසිපතන කණ්ඩායමේ සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තන අවස්ථාව ද මලිත් මිහිසර සාර්ථක කර ගත්තා.

තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී සිය කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ධර්මරාජ ක්‍රීඩක එස්. රාජපක්ෂට හැකි වූවත් තරගයේ වෙනසක් කිරීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 26 (4T, 3C) – 12 (2T, 1C) ධර්මරාජ විද්‍යාලය

NDB තරගයේ වීරයා: වෙනුර කෝදාගොඩ (ඉසිපතන විද්‍යාලය)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්

  • ඉසිපතනය විද්‍යාලය: Wewela Pandith 1T, කෙවින් තරූෂ 1T, Shahid Zumri 1T, කෙනුල මිහිසර 1T, මලිත් මිහිසර 3C
  • ධර්මරාජ විද්‍යාලය: එන්. විජේසිරි 1T, 1C, එස්. රාජපක්ෂ 1T

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය

මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් පරදවා  ලකුණු 53-06ක දැවැන්ත ජයක් ලබා ගැනීම මහනුවර ත්‍රිත්ව ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරග ආරම්භයේ දී ක්‍රියාත්මක වූ ත්‍රිත්ව ක්‍රීඩකයින් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථකව අවසන් කර ගැනීමට ඔවුන්ට හැකි වුනා.

පළමු අර්ධය තුළ හිමි වූ දඬුවම් පහර ද්විත්වයක් සාර්ථක කර ගනිමින් තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට හැකි වුනේ තරගය පිළිබඳව තරමක බලාපොරොත්තු ඇති කර ගනිමිනුයි.

නමුත් පළමු අර්ධය අග දී ක්‍රියාත්මක වූ ත්‍රිත්ව ක්‍රීඩකයින් විසින් තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් සහ එක් ප්‍රවර්තන අවස්ථාවක් සාර්ථක කර ගනිමින් එම අර්ධයේ පෙරමුණට පැමිණියා.

දෙවැනි අර්ධය තුළ ඉතා දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ත්‍රිත්ව ක්‍රීඩක කවීෂ එද්ම විසින් උත්සාහක දිනුම් ද්විතවයකට සිය දායකත්වය ලබා දීමට සමත් වුනා.

එමෙන්ම එම අර්ධය කැපී පෙනෙන දස්කම් දැක්වූ කවීෂ ඇතුළු ත්‍රිත්ව පසු පෙළ ක්‍රීඩකයින් විසින් තවත් උත්සාහක දිනුම් හතරක් සිය කණ්ඩායමට ගෙන ඒමට සමත් වුනේ තරගය පුරාවට උත්සාහක දිනුම් නවයක් සිය කණ්ඩායම ඉදිරියේ සටහන් කරමිනුයි.

එම අර්ධය තුළ ප්‍රවර්තන අවස්ථා ද්විත්වයක් ද සාර්ථකව අවසන් කිරීමට ත්‍රිත්ව ක්‍රීඩකයින්ට හැකි වූ අතර ධර්මරාජ ක්‍රීඩකයින්ට ලකුණු ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් හිමි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: ත්‍රිත්ව විද්‍යාලය 53 (9T 4C) – 06 (2P) කිංග්ස්වුඩ් විද්‍යාලය

NDB තරගයේ වීරයා: කවීෂ එද්ම (ත්‍රිත්ව විද්‍යාලය) 

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය

ඉතා උණුසුම් වූ තියුණු සටනකින් පසුව විද්‍යා විද්‍යාල ක්‍රීඩකයින් සිය ක්‍රීඩා පිටියේ දී ම ලකුණු 13-09ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීම විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට හැකි වුනා.

වසර දෙකක විවේකයකින් පසුව විද්‍යා විද්‍යාලය ක්‍රීඩා පිටියේ පැවැත්වූ පළමු තරගය මෙය වීම විශේෂත්වයක්.

තරගය ආරම්භ වී මිනිත්තු 5ක් ගත වෙද්දී ක්‍රියාත්මක වූ විද්‍යාර්ථ ක්‍රීඩක කවිෂ්ක විජේරත්න විසින් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

සත්කාරක විද්‍යා විද්‍යාල ක්‍රීඩකයින්ට තරගයට පිවිසීමට දඬුවම් පහර කිහිපයක්ම ලැබූ නමුත් ඒවාගෙන් ඔවුන්ට සාර්ථකව අවසන් කිරීමට හැකි වුනේ එකක් පමණයි. විද්‍යා විද්‍යාලය වෙනුවෙන් නඳුන් කවීෂ එම දඬුවම් පහර එල්ල කළා.

පළමු අර්ධය අවසන් වීමට කෙටි වේලාවක් ඉතිරිව තිබිය දී නැවතත් ක්‍රියාත්මක වූ කවිෂ්ක විජේරත්න තරගයේ දෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් වුනා.

දෙවැනි අර්ධය තුළ කණ්ඩායම් ද්විත්වයම තරමක පසුබෑමක් පෙන්නුම් කළත්, හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගත් විද්‍යාර්ථ ක්‍රීඩක මේනුක තිලකරත්න විසින් ලකුණු පරතරය වැඩි කළා.

එයට පිළිතුරු වශයෙන් හිමි වූ දඬුවම් පහර ද්විතවයක්ම සාර්ථක කර ගනිමින් සිය කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ කිරීමට විද්‍යා විද්‍යාල ක්‍රීඩක නඳුන් කවීෂට හැකි වුනා.

විද්‍යාර්ථ විද්‍යාල ක්‍රීඩකයින් තරගයේ ජයග්‍රහණය තහවුරු කිරීමට හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව අවසන් කිරීමට ඔවුන්ට නොහැකි වූ නමුත් විද්‍යා විද්‍යාල ක්‍රීඩකයින්ට වෙනත් කිසිදු ලකුණක්  ලබා ගැනීමට අසමත් වීම නිසාවෙන් තරගයේ ජය විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: විද්‍යාර්ථ විද්‍යාලය 13 (2T, 1P) – 09 (3P) විද්‍යා විද්‍යාලය

NDB තරගයේ වීරයා: කවිෂ්ක විජේරත්න

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්,

  • විද්‍යාර්ථ විද්‍යාලය: කවිෂ්ක විජේරත්න 2T, මේනුක තිලකරත්න 1P
  • විද්‍යා විද්‍යාලය: නඳුන් කවීෂ 3P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<