“ඔවුන් කිව්වා මට යළිත් ඇවිදින්න බැරි වෙයි කියලා” Ronaldo හැඟුම්බර වෙයි!

125

බ්‍රසීල සුපිරි පාපන්දු තරුව Ronaldo මේ දිනවල පැතිර යන Covid-19 වයිරස අර්බුදය, ඔහුගේ ක්‍රීඩා දිවියේ ඇතිවූ දරුණු ආබාධයකට සමාන කරනවා. ඔහු පවසා සිටින්නේ තමා එම අභියෝගය ජය ගත් සේම පාපන්දු ලෝකයා ද මේ අර්බුදය ජය ගනු ඇති බවයි.

ලෝක කුසලාන දෙකක හිමිකරුවෙකු වන Ronaldo, La Liga තරගාවලියේ තමන් අයිතිය දරන Real Valladolid ක්‍රීඩා සමාජයේ ප්‍රේක්ෂකයින් වෙත හැඟුම්බර ලිපියක් ලියා තිබුණා.

43 හැවිරිදි Ronaldo නිවෙස්වලට වී ආරක්ෂිතව සිටීම පිළිබඳව ඔහුගේ ප්‍රේක්ෂකයින්ට ස්තූති කළා. Valladolid ක්‍රීඩා සමාජයේ වෙබ් අඩවියේ සටහනක් තබමින් ඔහු පවසා සිටියේ “මේ නරක වෙලාවේ ඔබව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා මම ගොඩක් කල්පනා කළා.”

“අවසානයේ මම තීරණය කළා ඔබට මේ ලියුම එවන්නට, මම හිතනවා මේ ලියුම මම ම ලියපු නිසා ඔබට මම කොච්චර ලෙන්ගතු ද කියලා දැනේවි කියලා. මගේ නිවසේ සිට ඔබේ නිවස වෙත. මගේ පවුලේ සිට ඔබේ පවුලට.”

“අපි සමාජ දුරස්ථභාවය නිසා ඈත් වෙලා ඉන්නේ, නමුත් මට විශ්වාසයි අපි කවදාවත් හිතින් මේ තරම් ළං වෙලා නැහැ. එකිනෙකාට තියෙන ආදරය තමයි අපිව ළං කරන්නේ. වගකීම හා මානුෂිය බවත් අපිව එකමුතු කරනවා.”

“අපි අපිටම සීමා වෙලා අපේ නිවාසවලට වෙලා සිටිනවා. අපි ආදරය කරන අය වෙනුවෙන්, අපි දන්නෙවත් නැති අය වෙනුවෙන් හා අපි සමඟ අද නැති අය වෙනුවෙන් අපි නිවෙස්වලට වෙලා ඉන්න ඕන. අපි එකිනෙකාට උදව් කරගන්න ඕන මේ හුදකලා අවස්ථාවේ.”

“මම මේ ලියුම ලියන්නේ ඔබට ස්තුතියි කියන්න. ඔබ ඔබේ නිවස, ගෙදරක් කර ගන්න. හැම මොහොතක්ම ඔබේ පවුලට අමතක නොවන මොහොතක් කරන්න.”

“ඉවසීම හා අවධානය ඉතා අත්‍යවශ්‍යයි. මේ අමාරුකම් මැද අභියෝග හා අපි ආස කරන දේවල් අපෙන් ගිලිහීමට අපිට මුහුණ දෙන්නට සිදු වෙයි. පාපන්දුව මට ගොඩක් දේවල් කියලා දුන්නා. ඉන් වටිනාම දේ තමයි කොහොමද  දේවල් දරා ගන්නේ කියන එක.”

“මම මගේ ප්‍රථම හා දරුණුතම දණහිසේ ආබාධයට මුහුණ දෙද්දී, සමහර මිනිස්සු හිටියා මට කවදාවත් ක්‍රීඩා කරන්නට නොහැකි වෙයි කියලා කියපු. මට කවදාවත් ඇවිදින්නට නොහැකි වෙයි කියලා කියපු.”

“මට දැනුණේ මගේ ජීවිතය මගෙන් උදුරා ගන්නවා වගේ. ඒ මොහොතේ දී මගේ සීමාවන් පරික්ෂාවට ලක් වුනා. මම සටන් කළා ඒ මිනිස්සු කියපු දේවල් වෙනස් කරන්න, අනෙක් අයට පෙන්වන්න මට ඕනෑ දේ මම කරනවා කියලා”

“අතිශය අමාරු වසර තුනක් මට පුනරුත්තාපනයේ ගත කරන්නට සිදු වුනා. ක්‍රීඩා පිටියේ පන්දුව මගේ දෙපතුල් ගාව තියෙද්දී දැනෙන හැඟීම ඉක්මනින්ම මට යළිත් විඳින්නට හැකි වේවි යන බලාපොරොත්තුවෙන් මගේ මනස ශක්තිමත් වුනා.”

“අවසානයේ මගේ බලාපොරොත්තුව ඉටු වුනා. මගේ  ක්‍රීඩා දිවියේ වටිනාම දවස ඒ. 2002 වසරේ, ජපානයේ දී බ්‍රසීලය සමඟ මම ලෝක කුසලාන අවසන් මහා තරගයක. ජර්මනියට එරෙහිව ගෝල දෙකක් වාර්තා කරන්නට මට පුළුවන් වුනා, මගේ රට වෙනුවෙන්. පස් වතාවක් ලෝක ශූරයින් වෙනුවෙන්ම, මම වෙනුවෙන්, මම ඒ දේ කළා.”

“මට විශ්වාසයි ඔබත් එහෙමයි, ඔබ නැවත හැරිලා බලද්දී ඔබට මතක් වේවි ඔබ කී පාරක් ජීවන සටන් මැද්දේ නැවත නැගිට්ටා ද කියලා, කොච්චර දේවල් ඔබ විඳ දරා ගත්තා ද, කළ නොහැක්ක කරන්නට ඔබ සමත් වුනේ ඔබ ඔබේ ශක්තීන් වලින් සටන් කළ නිසා.”

“මේ ලියුම අද ඔබ වෙත ලැබෙන්නේ මම මගේ ජීවිතයේ එක් තෝරා ගැනීමක් විදියට Valladolid තෝරා ගත් නිසා. මම ඔබ තෝරා ගත්තා. මම එයට ගොඩක් ආදරය කළා.”

විශේෂාංග ලිපි;

“ඔබ වගේම මමත් නැවත අපේ ගෙදරට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම ඇස්වහගත්තම මට පෙනෙන්නේ ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයින්ගෙන් පිරී තිබෙනවා. ඒක තමයි මට ජිවත් වෙන්න සවිය දෙන්නේ.”

“පිටියෙන් එපිට, මම සෑම අභියෝගයකටම මුහුණ දෙන්නට සූදානම්. පෞද්ගලිකව මම මේ පවුලට එකතු වුනේ ඔබට පස්සේ. ඒ නිසා බොහොම ස්තුතියි මට සහය දුන්නාට.”

“ශක්තිමත් වී සිටින්න. අපි ඔක්කොම එකට ඉන්නේ, මේ තත්වය අවසන් වූ පසුව අපි හිටියාටත් වඩා හොඳින් ඉඳියි.”

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<