හෂාන් තිලකරත්න බංග්ලාදේශයට

5994

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය භාරගෙන ඇතැයි වාර්තා වෙනවා.

හෂාන් පසුගිය කාලසීමාවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර කාන්තා එක්දින ලෝක කුසලානයට මාස පහක් වැනි කෙටි කාලයක් තිබිය දී ඔහු මෙලෙස එම ධුරයෙන් ඉවත්ව තිබීම විශේෂත්වයක්.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම වසරේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දක්වමින් වසර 14කට පසුව අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තා.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පසුගිය වර ආසියානු ශූරියන් බවට පත්වීමෙන් පසු මෙම වසරේ දී මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට ඔවුන්ට සිදුවුනා.

1996 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වන හෂාන් ටෙස්ට් ලකුණු 4545ක් සහ එක්දින ලකුණු 3789ක් රැස් කරගැනීමට සමත් වූ දක්ෂ ක්‍රීඩකයෙක්.

1986 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි හෂාන් 2004 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සහ 2006 වසරේ දී සමස්ත ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට කටයුතු කළා.

ක්‍රීඩකයෙකු ලෙස ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව හෂාන් පුහුණුකරුවෙකු ලෙස සිය ගමන ආරම්භ කළ අතර ඔහු 2020 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මහනුවර නියෝජනය කළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<