මේ අර්ජුණ වැනි කෙනෙකු අවශ්‍යම කාලය යි

2856

1988 වසරේ දී තරුණ සංජීව රණතුංග ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ තේරීම් කටයුතුවල සිට නිවස බලා පැමිණි විට දී ඔහුගේ වැඩිමල් සොහොයුරු අර්ජුණ ඔහුගෙන් තේරීමේ කටයුතු පිළිබඳව විමසා ඇත.

එහි දී ඔහුගේ පිළිතුර වූයේ “මම හොඳින් කරගෙන යනවා. ඒත් ඔයා ඇවිත් බලන්න ඕනේ මේ දකුණේ කළු කොල්ලා දිහා. එයාට කිසිදු උත්සාහයකින් තොරව පන්දුව ලොකු දුරක් යන්න පහර එල්ල කරන්න පුළුවන්.” යන්නයි.

ක්‍රිකට් ක්‍රීඩාව කැමරාවෙන් අඳින හැටි

පසුගිය දස වසරක කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ සජීව දර්ශන වල තීව්‍රභාවය සහ තාක්ෂණය කෙතරම්

ඒ අනුව ඊළඟ දිනයේ දී අර්ජුණ NCC ක්‍රීඩාංගණයේ පැවති වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තේරීම් කටයුතු නැරඹීමට ගිය අතර එහි දී එම තරුණයාගේ දස්කම් හමුවේ ඔහු විශ්මයට පත්විය. පසුව එම තරුණයා ඕස්ට්‍රේලියාවේ දී පැවති පළමු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තේරී පත්වූවා පමණක් නොව, පසුකාලීනව ඔහු ශ්‍රී ලංකාවෙන් බිහි වූ සාර්ථකම නායකයින් අතරින් කෙනෙක් බවට පත්වන්නට ද සමත් විය. ඒ අන් කවරෙකු හෝ නොව සනත් ජයසූරිය යි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම බොහෝ දුරට කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් යුගයක, අර්ජුණගේ මැදිහත්වීම නොවන්නට, තේරීම් කමිටුව කවුරුත් එතරම් අසා නොමැති ජයසූරියගේ පාසල වන මාතර සාන්ත සර්වේෂස් විද්‍යාලය දෙස සිය අවධානය යොමු කරන්නට පවා ඉඩ නොතිබුණි. තේරීම් කටයුතු පිළිබඳව අර්ජුණ සතුව තිබූ අනුබලය අප මතක් කර දිය යුතු නැත. එහි තිබුණේ ‘My way or the highway’ ක්‍රමයකි.

වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කර වසරක තරම් කෙටි කාලයකින් ජයසූරිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම තහවුරු කිරීමට අර්ජුණ වගබලා ගත්තේය. ඔහුගේ ක්‍රිකට් දිවියේ මුල් කාලය එතරම් සාර්ථක එකක් වූයේ නැත. අදාළ සංඛ්‍යා ලේඛණ ඊට සාක්‍ෂි දරයි. නමුත් ඔබ සිටින්නේ අර්ජුණ යටතේ නම් ඔබට කිසිදු කරදරයක් වීමට අර්ජුණ ඉඩ ලබා දෙන්නේ නැත.

ජයසූරිය හට සිය පළමු එක්දින අර්ධ ශතකය වාර්තා කර ගන්නට වසර 4ක් තරම් දීර්ඝ කාලයක් ගතවෙයි. ඒ සිය පළමු එක්දින තරගයට ක්‍රීඩා කර තරග 39කින් අනතුරුව ය. ඔහුගේ වමත් දඟපන්දුව ද එතරම් සාර්ථකත්වයක් පෙන්වීමට අපොහොසත් වූ අතර ඒ අනුව ඔහු පළමු තරග 39 තුළ දවා ගැනීමට සමත් වූයේ කඩුලු 27ක් පමණි.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ නවකයින් තිදෙනා

ක්‍රිකට් ලෝකය අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය ටෙස්ට් තරග සඳහා පිළිගැනීමට

ඒ අනුව බොහෝ දෙනා ජයසූරියගේ ආයෝජනය පිළිබඳව දැඩි සැකයකින් පසුවුවත් තමන් කරන දෙය නිවැරදි බව අර්ජුණ දැන සිටියේ ය. කාලය සහ අත්දැකීම් හමුවේ පරිණත ක්‍රීඩකයෙක් බවට පත් ජයසූරිය පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වටිනාම ක්‍රීඩකයා මෙන්ම විශිෂ්ටතම තරග දිනවන්නා බවට ද පත්විය. ඔහුගේ බිහිසුණු පිතිහරඹය, උපායශීලී වමත් දඟපන්දුව සහ විශිෂ්ට පන්දු රැකීම, ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක් බවට පත්කළේය. ඒ අනුව ඔහු අවසානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයින් අතරින් කෙනෙක් බවට පත්විය. නමුත් අර්ජුණ නොසිටියා නම් එය සිදු වන්නට ඉඩ තිබුණා ද?

මේ ආකාරයට අර්ජුණ විසින් තෝරා ගෙන, කුමක් සිදු වුවත් ආරක්ෂා කළ එකම ක්‍රීඩකයා ජයසූරිය පමණක් නොවේ. දක්‍ෂයින් මුල් අවධියේ දීම හඳුනා ගැනීම දක්‍ෂතාවයකි. නමුත් අපහසු කාලවල දී ඔවුන් සමඟ සිටිමින්, ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට නම් චෝදනා, දෝෂාරෝපණ හොඳින් ඉවසීමේ හැකියාවක් තිබිය යුතුය. විශේෂයෙන් සමාජ වෙබ් අඩවි දැඩිව ක්‍රියාශීලී මේ අවධියේ එය තවත් අපහසු කටයුත්තකි.

මෑත භාගයේ දී කරළියට පැමිණි දක්‍ෂතම ක්‍රීඩකයින් තිදෙනා වන්නේ කුසල් මෙන්ඩිස් (23), නිරෝෂන් දික්වැල්ල 24) සහ ධනංජය ද සිල්වා යි. ඔවුන් තිදෙනාම අවස්ථාවන් කිහිපයක දී ම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ඉනිම් ක්‍රීඩා කර ඇත. ඒ අනුව ඉදිරි වසර 12ක පමණ කාලය පුරාවට මොවුන් තිදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමේ අරටුව වන බව නොඅනුමාන ය. නමුත් මොවුන්ගේ ක්‍රිකට් දිවිය තුළ අවස්ථාවන් කිහිපයක දී ම අදාළ බලධාරීන් විසින් අවුල් සහගත තත්වයන් ඇතිවී ඇත.       

හැමදේම කරපු අය

පිතිකරණය, පන්දු යැවීම, පිටිය රැකීම, කඩුලු රැකීම වැනි ඉසව් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස් අංග. ඒ සෑම අංගයක්ම ජාත්‍යන්තර මට්ටමින් ප්‍රගුණ කරපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කවුද?

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය සඳහා මෙන්ඩිස්ව ඉවත් කිරීම සාධාරණයට ලක් වුවත් එය නිසි පරිදි සන්නිවේදනය වූවා ද යන්න සැක සහිත ය. මන්ද, නැවතත් ඔහු කණ්ඩායමට පැමිණීමෙන් පසුව දිස්වූයේ, ඔහුගේ විශ්වාසය යම්තාක් දුරකට අඩුවී ඇති බවයි.

එහි ආසන්නම ගොදුර වූයේ දික්වැල්ල යි. පළමුව ඔහුව නිදහස් කුසලානයෙන් ඉවත් කෙරුණු අතර දැන් පෙනී යන අන්දමට නායක දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින වගකීම බාර ගැනීමට ඇති සූදානමත් සමඟ දික්වැල්ල හට කණ්ඩායමේ පළමු කඩුලු රකින ක්‍රීඩකයාගේ ස්ථානය ද අහිමි වී යනු ඇත.   

දික්වැල්ල සිය කඩුලු රැකීමේ වගකීම් හොඳින් ඉටු කිරීමට සමත් විය. ඒ අනුව ඔහු දැනට දිවයින තුළ සිටින හොඳම කඩුලු රකින්නන් තිදෙනා අතරින් කෙනෙක් ද වේ. ඔහු පිතිකරණයේ දී ලබා ගත් සාර්ථක ආරම්භ වලින් අනතුරුව එය විශාල ඉනිමක් කරා රැගෙන යන්නට ඔහු අපොහොසත් වීම පිළිබඳව ඔබ කනස්සල්ලට පත්වන්නට ඇත. නමුත් ඔහුගේ චරිතය වෙනුවෙන් ඔහු තෝරාගත යුතුය. මොහොමඩ් ශාමි වැනි පන්දු යවන්නෙක් හට ‘scoop’ පහරක් එල්ල කරමින් ‘fine-leg’ කලාපය හරහා 6 පහරක් එල්ල කළ හැකි හෝ විරාත් කෝලි හට ‘get lost’ යනුවෙන් ආමන්ත්‍රණය කළ හැකි ක්‍රීඩකයින් දැන් ක්‍රිකට් පිටිය තුළ සිටිනවා නම් ඒ ඉතා අතළොස්සකි.

පසුගිය නොවැම්බර් මාසයේ දී කොල්කටා හිදී දික්වැල්ල දැක්වූ නාටකය බලා සිටීමට ප්‍රසන්න එකක් වූ අතර විරාත් කෝලි පවා එහි දී ඔහුට ප්‍රශංසා කරමින් ප්‍රකාශ කර සිටියේ; “මම දික්වැල්ලගේ තරගකාරීත්වය ගැන සතුටට පත්වුණා. ඔහු, ඔහු ක්‍රීඩා කරන ආකාරය පිළිබඳව ගොඩක් ආඩම්බරයෙන් සිටින ක්‍රීඩකයෙක්. ඔහු ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශේෂ යමක් කළ හැකි ක්‍රීඩකයෙක්.”

එමෙන්ම ඔහුගේ ලකුණු වාර්තා ද හොඳ තත්වයක පවතී. ඔහුගේ විශේෂත්වය වන්නේ ඔහු සතුව ඇති අවිනිශ්චිත භාවය යි. ඔහුට පන්දු යවන්නන්ව දැඩි පීඩනයකට ලක් කිරීමේ හැකියාවක් ඇත. පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ අපරාජිත වාර්තාව බිඳහෙලන විට, එහි දී තරගාවලිය පුරාවට ඉහළ දස්කම් දක්වන්නට දික්වැල්ල සමත් විය. ඒ අනුව එහි ඉනිම් 4 තුළ ඔහු ලකුණු 196ක් වාර්තා කර ගත්තේ, 65ක් වැනි ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද පවත්වා ගනිමිනි. තරගාවලියේ එක් අවස්ථාවක ඔහු යසීර් ෂා හට උර්දු වලින් විහිළු තහළු කළ අවස්ථාවක් ද විය. පෞද්ගලික අපහාසාත්මක දෙයක් නොපවසන තෙක්, යම් විහිළුවක් කිරීම වරදක් නොවේ.

“මාව මිලට ගත් එකෙන් IPL එක බේරුණා” – ක්‍රිස් ගේල්

IPL (ඉන්දියන් ප්‍රීමියර් ලීග්) තරගාවලිය තුළ දී ක්‍රීඩකයන් අලෙවි වන්නේ මිළට ය. එහෙත් මේ

නිසි පරිදි හසුරුවනවා නම් දික්වැල්ල හට ශ්‍රී ලංකාවේ සාර්ථක නායකයෙකු වීමේ හැකියාවක් ඇත. පාසල් කණ්ඩායමේ නායකයා වශයෙන් ඔහු තබා ඇති වාර්තාව සුවිශේෂී එකකි. එහි දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ නායකත්වය දැරූ ඔහු ලීග් තරගාවලිය, එක්දින තරගාවලිය, පන්දුවාර 20 තරගාවලිය සහ මහා ක්‍රිකට් තරගය යන තරගාවලි හතරේම ශූරතාවය කරා සිය කණ්ඩායම මෙහෙයවන්නට සමත් විය. මේ තාක් වෙනත් කිසිදු නායකයෙක් එක් තරග වාරයක දී ශූරතා 4ක් ජයග්‍රහණය කිරීමට සමත්ව නැත. පාසල් කණ්ඩායමකට නායකත්වය දී ම සහ ජාතික කණ්ඩායමේ නායකත්වය දැරීම සම්පූර්ණයෙන්ම වෙනස් කටයුතු දෙකකි. නමුත් පසුගිය වසරේ දිල්හි හිදී පැවති දැඩි උණුසුම් ස්වභාවයක් ගත් තරගයේ දී සිය දික්වැල්ලගේ හැකියාවන් අපට දැකගත හැකි විය.

එහි දී තරගයේ අවසන් භාගයේ දී දික්වැල්ල සහ රොෂේන් සිල්වා එක්ව 6 වන කඩුල්ලට නොබිඳුණු ලකුණු 95ක සබඳතාවක් එක්කිරීමට සමත් විය. ඒ අනුව ඉන්දීය ප්‍රබල දඟපන්දු බලඇණියට ආරක්‍ෂාකාරීව පහර දුන් ඔවුන් තරගය ජය-පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය. තරගය අවසානයේ ක්‍රීඩකයින් ක්‍රීඩාගාරය බලා යාමේ දී සංජේ මන්ජ්රේකා සමඟ අදහස් දක්වමින් දික්වැල්ල ප්‍රකාශ කර සිටියේ ධනංජය සිල්වා හට ආබාධයකට ලක්වී පිටියෙන් ඉවත් වීමට සිදුනොවූවා නම් එදින ඔවුන් ලකුණු 410ක ඉලක්කය හඹාගොස් ඉතිහාසය අලුත් කරනු ඇති බවයි.

එය ඔහු කටට ආ පමණින් ප්‍රකාශ කළ යමක් නොවේ. ඔහු පවසන දේම අදහස් කරයි. එහි දී ඔහු සමඟ සබඳතාව එක්කළ රොෂේන් සිල්වා ප්‍රකාශ කර සිටියේ; “දික්කාට ඕනේ වුනා තරගය ජයග්‍රහණය කරන්න. අපිට මිනිත්තු 50ක දී ලකුණු 117ක් අවශ්‍ය වුනා. ඔහු කිව්වේ, අපි අද මෙතන ඉතිහාසය අලුත් කරමු. අපි යමු ඒකට, කියලා.”

නමුත් පළමු පෙළ තරග 100කට අධික සංඛ්‍යාවක් ක්‍රීඩා කරමින් ක්‍රීඩාව තුළ හාස්‍යජනක දේවල් වනු දැක තිබූ රොෂේන් එවිට ඔහුට ප්‍රකාශ කර ඇත්තේ; “මම ඔහුට කිව්වා ඉන්දියාවේ දී තරගයක් ජය-පරාජයෙන් තොරව අවසන් වන එකත් ජයග්‍රහණයක් කියලා. ක්‍රිකට් කියන්නේ හාස්‍යජනක ක්‍රීඩාවක්. ඒ නිසා අපි එහෙම කරමු.”

ඒ නිසා අර්ජුණ වැනි පුද්ගලයෙක් දික්වැල්ල පසුපසින් සිටිය යුතුය.

The need to have Arjuna’s thick skin ලිපියේ පරිවර්තනයකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<