ක්‍රිකට් ක්‍රීඩාව කැමරාවෙන් අඳින හැටි

4107

පසුගිය දස වසරක කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ සජීව දර්ශන වල තීව්‍රභාවය සහ තාක්ෂණය කෙතරම් දියුණුවී ඇත්ද? ලොව වැඩිම පිරිසක් නරඹන දෙවැනි ක්‍රීඩාවේ සජීව දර්ශන නැරඹීම ඔබටත් මටත් විඩා නොගෙනෙන, උද්වේගකර අත්දැකීමකි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩා දර්ශන නැරඹීමට වඩා ඒ රූප නිර්මාණය කිරීම විඩාබර අත්දැකීමකි. පසුගිය දස වසරක කාලය තුළ නරඹන්නන්ට සිහිනයක්ව තිබූ සෑම දර්ශනයක්ම තාක්ෂණය විසින් නරඹන්නන්ට පහසු යතාර්ථයක් කොට දී ඇත.

ක්‍රිකට් කැමරාකරණයේ සුරුවෙකු වීම පහසු නැත

නවීන තාක්ෂණය නොයෙක් ආකාර වලින් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වුවද ක්‍රිකට් පිටියේ සහ පිටිය අවට සජීව රූප, රූපගත කෙරෙන්නේ කැමරාවෙනි. ඊට අමතරව විනිසුරුවන්ගේ සහාය සඳහා ද කැමරාව නොයෙක් ආකාරයෙන් යොදා ගැනේ. ක්‍රිකට් ක්‍රීඩාවේ වේගය ඇතැම් විට පියවි ඇසට හසුකර ගැනීමට ඇති අපහසුව නිසා කැමරාව අද ජාත්‍යන්තර සහ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාවේ මූලිකාංගයක් බවට පත්ව ඇත.

තිර පිටපත

නූතන ක්‍රිකට් සජීව විකාශයක දී කැමරා ස්ථානගත කරන අයුරු

ක්‍රිකට් තරගයක් සජීව ලෙස විකාශය කිරීමේ දී ඊට පෙළක් (තිර පිටපතක්) ඇත. සජීව වැඩසටහන් අධ්‍යක්ෂවරයා එහි ප්‍රධානත්වය දරන අතර තිරය මත එළිදැක්වෙන රූපරාමු තීරණය කෙරෙන්නේ ඔහු විසිනි. ඒ හා සමගාමීව කැමරා කණ්ඩායම ඔහුගේ අණ යටතේ ක්‍රියාත්මක වන අතර එසැණ සිදුවන සැලසුම් නොකළ සිදුවීම්, (උදා: ක්‍රීඩකයෙකුගේ උරහිස විසන්ධි වීම, ක්‍රීඩකයෙකුගේ මව ඒ ක්‍රීඩකයාට අත්පොලසන් දීම) එක් එක් අධ්‍යක්ෂකවරයාගේ සහ කැමරාකරුගේ දක්ෂතාවය මත තිරය මත අඳිනු ලැබේ.

IPL හි සජීව දර්ශන ඔබ වෙත ගෙන එන නිෂ්පාදනාගාරය

ThePapare.com කැමරා සුරුවෙකු වන තාරක නයනප්‍රිය, මේ ලිපිය රචනය සඳහා මට සහාය ලබාදෙන අතරතුර කියූ පරිදි,

“යම්කිසි නිර්මාණයක අධ්‍යක්ෂකට කලින් රූපය දකින්නේ කැමරාමන්. එයාට රූපය ගැන සෙන්ස් එකක් නැතුව තාක්ෂණය ගැන සෙන්ස් එක විතරක් තියෙනව නම් එතන රූපයක් නිර්මාණය වෙන්නේ නෑ. අපි ජීවත් වෙන්නේ රූප මාධ්‍යයක් ඇතුලේ. අපි කරන්නේ ආලෝකයෙන් අඳින එක. ඒ නිසා පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් රූපය තමයි වැදගත්. අනිත් හැම දෙයක්ම තියෙන්නේ ඊට පහළින්.”

කැමරාව අතැති තාරක සහ ThePapare.com අප මලල ක්‍රීඩා සජීව විකාශයක් අතරතුර

තොරතුරු දැන ගැනීමේ ප්‍රේක්ෂක උනන්දුව තීව්‍ර වීමත් සමඟ රූප වල පූර්ණ ස්වරූපය, සුපැහැදිලිතාව සහ එක් රූපරාමුවක ගැබ්වී ඇති දත්ත ප්‍රමාණය ඉහළ නැංවීමට නිෂ්පාදකයන් සහ ක්‍රිකට් බලධාරීන්ට සිදුව තිබේ. සජීව විකාශයක් අතරතුර ක්‍රිකට් පිටිය මැද දී ඒ සියලු බර දරන්නේ කැමරාකරු ය. ඔහුට කැමරාවෙන් නෙත ඉවතට ගන්නට හෝ ලැබෙන අවස්ථාවන් අතිශයින්ම විරල ය. කැමරාවෙන් ඇස මිදුන තත්පරයක දී තරගයේ වැදගත්ම සිදුවීම ඔහුට මඟ හැරෙන්නට හැකියි. සජීව රූප හා සම්බන්ධ නවීන අංගෝපාංග කිහිපයක් ගැන අද දැන ගනිමු.


කඩුල්ලේ කැමරාව (Stump cam)
මෙම කෝණයෙන් නැරඹිය යුතු දර්ශන ඔබට වෙනත් කෝණයකින් නැරඹිය නොහැකිය

ක්‍රිකට් කැමරා අතරට නවීන තාක්ෂණයක් වශයෙන් එක්වී පැරණිතම තාක්ෂණය බවට පත්වූ අංගය ලෙස මෙය හැඳින්විය හැක. මැද කඩුල්ලේ හරි මැද පිහිටුවා ඇති “කඩුල්ලේ කැමරාව” ස්ටම්ප් කිරීම් සහ පිතිකරුගේ සීමා ඉර සම්බන්ධ සෑම සමීප රූපයක්ම අපට සපයයි.

රතු පැහැති වර්ණයෙන් වට කොට ඇත්තේ කඩුල්ලේ කැමරාව ය

ඊට අමතරව තණතිල්ල ආශ්‍රිතව සිදුවන කතාබහ සහ ශබ්ද ග්‍රහණය කර ගැනීම සඳහා මයික්‍රොෆෝනයක් ද මීට සම්බන්ධ කොට තිබේ.


තුන්වන විනිසුරුගේ කැමරාව (Third Umpire’s cam)
ඇසට නොපෙනෙන වේගවත් අවස්ථාවන් ග්‍රහණය කර ගැනීම අත්‍යාවශ්‍ය ය

තෙවැනි විනිසුරු විමසීමේ හැකියාව ලොවට හඳුන්වා දුන්නේ ශ්‍රී ලාංකිකයෙකි. මහින්ද විජේසිංහ මහතා විසින් හඳුන්වා දෙනු ලැබූ තාක්ෂණය ප්‍රථම වරට ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් සඳහා යොදා ගත්තේ 1992 වසරේ දීයි. එනිසා ක්‍රීඩාවේ ජීවගුණය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ විශ්වසනීයභාවයත් උද්යෝගයත් එක ලෙස වර්ධනය විය.

දුවද්දී දවා ගැනීම් සඳහා දැනට භාවිත කෙරෙන්නේ අන්ත හතරක ස්ථානගත කොට ඇති කැමරා 4කි. මුලින් එතරම් කැමරා යොදා නොගත්ත ද ප්‍රායෝගික ගැටලු කෙමෙන් හඳුනා ගැනෙද්දී බොහෝ දෑ වෙනස් වී තිබේ. එක් සීමා ඉරක දෙපසින් කැමරා දෙක බැගින් ස්ථානගත වේ. තෙවැනි විනිසුරු විසින් ඉල්ලා සිටින රූපරාමු ඔහුට ලබාදිය යුතු වේ.

උක්ත කැමරා 4 ගැන වැඩියෙන් වදවිය යුතු නැත්තේ ඒවා ස්ථානගත අයුරින්ම පැවතිය යුතු බැවිනි

“විනිසුරු නැවත විමසීමේ තාක්ෂණය” (Decision review system) එළිදැකීමත් සමඟ රූපරාමු ග්‍රහණය කර ගන්නා ආකාරය සැබෑ පරිවර්තනයකට ලක්ව ඇත. උදාහරණයක් වශයෙන් 2015 ක්‍රිකට් ලෝක කුසලානය සජීව ලෙස විකාශය කිරීම සඳහා අධි තාක්ෂණික කැමරා 29ක් පමණ යොදා ගෙන තිබේ. එහි තරග 7ක් 4K තාක්ෂණය ඔස්සේ විකාශය කෙරිණි.


සුපර් ස්ලෝමෝ (Super Slow-mo)

“මෙන්න පුනරූපනය”. මෙය ඔබට ක්‍රිකට් සජීව විකාශයන් වලදී නිතර අසන්නට ලැබෙන වදනකි. එහෙත් එහි දී ඔබට නැරඹීමට ලැබෙන්නේ බොහෝ විට අඩු වේග පුනරූපනයකි. මඳවේග පුනරූපන තාක්ෂණය නැතහොත් “ස්ලෝමෝෂන් රීප්ලේ” තාක්ෂණය 1930 දශකයේ අගභාගයේ සිටම ක්‍රීඩා විකාශනයන් තුළ දී යොදා ගෙන ඇති බව වාර්තා වල සඳහන් ය. එහෙත් එහි වේගය, මඳ වේගයේ සිට සුපිරි මඳ වේගය දක්වා කෙමෙන් බැසගෙන යන්නේ තත්පර දශමයක දී සිදු වූ දෙයක් තත්පර කිහිපයක් පුරාවට නැරඹීමේ ඉස්පාසුව ප්‍රේක්ෂකයාට ලබා දෙමිනි.

අද මේ තාක්ෂණය කුඩා ප්‍රමාණයේ කැමරා දක්වා පමණක් නොව ජංගම දුරකථන දක්වා ද පැමිණ ඇත

කොටින්ම කියතොත් අපගේ ඇස් වලට ගෝචර නොවන අති ධාවනකාරී රූප අපට නිස්කාන්සුවේ නැරඹීමේ අවස්ථාව මේ නිසා උදාවී තිබේ. මෙය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොදා ගැනීම වසර 20ක පමණ ඉතිහාසයකට ඇදී යන්නකි. ප්‍රේක්ෂකයාගේ විශ්වාසය තහවුරු කරමින් පාරදෘශ්‍යභාවය වර්ධනය කිරීමට මෙය ඉවහල් වී ඇත.


අල්ට්‍රා ස්ලෝ-මෝ (Ultra Slow-mo)
තත්පරයට රූපරාමු 2000ක් යනු තත්පරය කොටස් 2000කට බෙදුවහොත් ඉන් ක්ෂණයක රූපය ද ග්‍රහණය කළ හැකි තාක්ෂණයකි

මෙම තාක්ෂණය සහිත කැමරාවකින් තත්පරයකට රූපරාමු 2000කට වැඩි ප්‍රමාණයක් පටිගත කෙරෙන අතර පුනරූපන සඳහා මෙය අද ප්‍රමුඛව භාවිතා වන්නකි. ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරු තීරණ නිවැරදි කිරීමට මෙන්ම දෑසින් දැකිය නොහැකි කලාත්මක ස්වරූපයේ දර්ශන ප්‍රේක්ෂකයාට ළඟා කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට ආකර්ෂණීය මුහුණුවරක් ලබා දීමට මෙනිසා හැකිවී තිබේ.


ස්පයිඩර් කැම් (Spider cam)

ක්‍රීඩා සජීව දර්ශන යනු ප්‍රේක්ෂකයා ප්‍රමුඛ වන මාධ්‍යයකි. එනම් ප්‍රේක්ෂකයා සතුටු වන ආකාරය ප්‍රමුඛ වන්නකි. ප්‍රේක්ෂකයා සිහින දකින දර්ශන ප්‍රේක්ෂකයාට සැබෑවටම ලං කිරීම එහි දියුණුවට මඟ කියයි. ක්‍රීඩා පිටියට ඉහළ අහසේ සිට තරගයක් නරඹන්නට, ක්‍රීඩකයන්ගේ උරහිස් මට්ටමට ලංවන්නට සිහින මවන ප්‍රේක්ෂකයන්ට එම අවකාශය සපයන්නේ ස්පයිඩර් කැම් තාක්ෂණයයි. මකුළු දැලක් මෙන්ම නොවූවත්, ක්‍රිකට් පිටිය ඉහළින් අදින ලද රැහැන් හතරක් ආධාරයෙන් ක්‍රියාත්මක වන මෙම කැමරාවට පිටියේ භූමි මට්ටමට පවා ළඟා විය හැක. එයින් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පෙර කිසිදා නුදුටූ විරූ දර්ශන ඔවුන්ට ලැබේ.

නූතන ක්‍රිකට් ක්‍රීඩා “සැණකෙළි සිරිය” ජනයා අතරට ගෙන යන්නට මෙය විශාල බලපෑමක් කර ඇත

සමහර අවස්ථාවන් වලදී ක්‍රීඩකයන්ට කරදරකාරී අයුරින් මෙම කැමරාව ක්‍රියාත්මක වූයේය යන චෝදනාවත් අසන්නට ලැබුණි. ඕස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් වරෙක උඩපන්දුවක් රැකගැනීමට යාමේ දී තම දෘෂ්ටියට මෙම කැමරාවෙන් බාධා සිදුවූ බව පැවසුවේය. ස්පයිඩර් කැම් නමැති මෙය ක්‍රීඩාංගණයට ඉහළ අහසේ රැහැන් 4ක ආධාරයෙන් රැඳී තිබීම ඊට හේතුවයි.


ගෝ ප්‍රෝ (GoPro)

ක්‍රියාදාම ඡායාරූපකරණය සහ ක්‍රියාදාම වීඩියෝකරණය අද ජනප්‍රිය විනෝදාංශයකි. එයම ක්‍රිකට් ක්‍රීඩාවට ද සම්බන්ධ වී ඇත. 2000 වර්ෂයෙන් පසුව දියුණු වෙමින් ආ මෙම ක්‍රියාදාම තාක්ෂණය සහිත කැමරා ඔබගේ අස්ථාවර චලනයන් නොසලකා ඔබට ස්ථාවර දර්ශන සැපයිය හැකි ඒවාය. එතැනින් නොනැවතී අද ද්‍රෝන කැමරා තාක්ෂණයේ දී ද යොදා ගන්නා ගෝ ප්‍රෝ කැමරා වාණිජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවේ දී (IPL, CPL) විනිසුරුවන්ගේ හිස් වැසුම් මත සහ ක්‍රීඩකයන්ගේ හිස්වැසුම් මත ස්ථානගත කරනු ලැබේ. එවිට ප්‍රේක්ෂකයාට තරග පිටිය ඇතුළත සිටින්නෙකු මෙන් තරගය අත්විඳිය හැකිය.

ඇඩම් ගිල්ක්‍රිස්ට් එංගලන්තයේ දී ගෝ ප්‍රෝ කැමරාවක් සහිතව පන්දුවට පහර දුන්නේය.

ඇතැම් විට පිතිකරු වෙතට වේගයෙන් එන බවුන්සර් පන්දුවක හෝ විනිසුරු වෙතට එල්ල වන වේගවත් පහරක ත්‍රාසය නොමකා එය ප්‍රේක්ෂකයා වෙත සම්ප්‍රේෂණය කෙරෙන අයුරු ඔබ දැක ඇති. එසේත් නැත්නම් පිටිය මත සිටින පිතිකරුවා හෝ පන්දු යවන්නා ඔබම යැයි සිතාගෙන ඔබට තරගය නැරඹිය හැකිය

ඇතැම් විට ක්‍රිකට් තරගවල දී කාලය ගතවීම රූපගත කරන්නට ද කැමරාකරුවන්ට සිදු වේ. ඒ සඳහා ඔවුන් භාවිතා කරන්නේ පිටියේ යම් ස්ථානයක රඳවන ගෝ ප්‍රෝ හෝ ඒ හා සමාන කැමරාවකින් ලබා ගන්නා දර්ශනවල ධාවනයකි. එනම් මිනිත්තු 30ක වැනි කාල පරාසයක් තුළ රූපගත කෙරෙන රූපරාමු තත්පර කිහිපයක දී ධාවනය වේ. වර්ෂාධික දිනයක දී අහසේ පැහැය වෙනස් වන ආකාරය, සුළඟ හෝ වළාකුළු ගමන් කරන ආකාරය “කාලය ගතවීම” පිළිබඳ රූප මාධ්‍යයෙන් ඔබේ තිරය මත ඇඳිය හැකි හොඳම ක්‍රමයයි.


පන්දුවේ සමීප රූප (Ball following camera)

ක්‍රිකට් ක්‍රීඩාවේ දී පන්දුවේ තත්වය ඉතා වැදගත් කරුණකි. ක්‍රීඩකයන් විසින් පන්දුව පළුදු කිරීම නිසා හෝ එසේ නොවන හේතු නිසා පන්දුවේ තත්වය වෙනස් විය හැකි අතර එසේ සිදුවන වෙනස් වීම් රූපගත කිරීම සඳහා දැන් කැමරාවක් භාවිතා වේ. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය තුළ දී වරදකරුවන් හසුකර ගැනීමට මෙම කැමරා දර්ශන සාක්ෂි සැපයීය.

සොටානි ඔස්කාර්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයට එක්වූ කළු පැල්ලමේ රූපරාමු පටිගත කළේය

ඊට අමතරව පන්දුව මාරු කිරීමට හෝ පන්දුවේ ගමන් මඟ වෙනස් වීමට හේතු සොයන ප්‍රේක්ෂකයාට ඒ හා සම්බන්ධ රූපරාමු විශ්වසනීයව ලබා දීමට මෙම කැමරාව සමත් වී ඇත.

“පන්දුව පළුදු කිරීම” – දැනගෙන කරන්න

“පන්දුව පළුදු කිරීම” ක්‍රිකට් පන්දු යවන්නන්ට අවශ්‍ය වන්නේ කුමකටද? මෑත දී වැඩිපුර කතාබහට පාත්‍ර වූ මේ මාතෘකාව…..


රූපරාමු වල පැහැදිලිභාවය
උඩපන්දු හරිහැටි රැක ගන්නේ ද නැද්ද යන්න විනිශ්චය කිරීමේ දී මෙම තාක්ෂණය යොදා ගනු ඔබ දැක ඇති.

කැමරා තාක්ෂණය දියුණු වීමත් සමඟ ඒවායේ වර්ණ උකහා ගැනීම සහ සජීව මට්ටමට ඉතාමත් ආසන්න අයුරින් දර්ශන හසුකර ගැනීමේ හැකියාව බොහෝසෙයින් දියුණු වී තිබේ. තෝරාගත් රූපරාමුවක පවතින වර්ණ සහ සජීව තොරතුරු බහුල බව නිසාම අවශ්‍ය වූ විටෙක සමීප රූපරාමු පවා නැවත විශාලනය කිරීමේ හැකියාව (Ultra zoom-in) පවතියි. උඩපන්දු හරිහැටි රැකගන්නේ ද නැද්ද යන්න විනිශ්චය කිරීමේ දී මෙම තාක්ෂණය යොදා ගනු ඔබ දැක ඇති.


රූපවල වැදගත්කම
නව්‍ය ඉසව් වල අවසානය මෙය නොවේ

රූපගත කිරීම ක්‍රිකට් පමණක් නොව සෑම ක්‍රීඩාවකම මූලිකාංගයක් වී ඇත. කාර්යබහුල සමාජයක ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණ වෙතට ගොස් තරග නැරඹීමට දක්වන මැලිකම මීට ප්‍රධාන හේතුවක් වන අතර, උගත් ප්‍රේක්ෂකයන්ට ලොව ඕනෑම තැනක සිට සුපැහැදිලි දත්ත  සහිත රූපරාමු සමඟින් තරග නැරඹීමට අවස්ථාව සැපයීම අත්‍යාවශ්‍ය වී තිබේ. ඉන් ක්‍රීඩාව ගැන විශ්වසනීයත්වයත් පාරදෘශ්‍යභාවයත් වර්ධනය වන විට ක්‍රීඩාව පිළිබඳ ප්‍රේක්ෂකයාගේ ඇති දැක්ම පුළුල් වේ. ඒ සියල්ලට වඩා සංවිධායකයන් සහ අනුග්‍රාහකයන් යන දෙපලටම ලාභදායී වෙළඳපොළක් නිර්මාණය කිරීමට ද සුපැහැදිලි දසුන් වලට හැකි බැව් සිහියේ තබා ගනිමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<