“මාව මිලට ගත් එකෙන් IPL එක බේරුණා” – ක්‍රිස් ගේල්

6539
@static-news.moneycontrol.com

IPL (ඉන්දියන් ප්‍රීමියර් ලීග්) තරගාවලිය තුළ දී ක්‍රීඩකයන් අලෙවි වන්නේ මිළට ය. එහෙත් මේ වසරට පෙර IPL තරග ශතකයක අත්දැකීම් තිබූ, IPL ශතක 5ක හිමිකරුවෙකු වූ ක්‍රිස් ගේල්, මේ වසරේ දී මුහුණ දුන්නේ පුදුමාකාර අත්දැකීමකට යි.

2018 වර්ෂය සඳහා වූ IPL ක්‍රීඩක වෙන්දේසියේ පළමු වටයේ දී අලෙවි නොවුණු ක්‍රීඩකයින් අතර ක්‍රිස් ගේල් ද සිටියේය. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් හි ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු වූ ඔහුව පළමු වෙන්දේසිය අවසන් වන තෙක්ම ඔහු භාරව සිටි කණ්ඩායම විසින් හෝ අන් කිසිදු කණ්ඩායමක් විසින් අයැදුම් නොකිරීම එක්තරා අයුරකින් පුදුමාකාර පුවතකි. එතෙක් ඔහුගේ කණ්ඩායමේ (RCB) සිටි මිල අධිකම ක්‍රීඩකයා මොහු ය.

එහෙත් දෛවය පුදුමාකාර ය. 2018 IPL තරගාවලිය ඇරඹෙන්නට දින කිහිපයකට මත්තෙන් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් (KIXP) වෙත කැඳවුම් ලැබූ ගේල්, තමාට කළ නිග්‍රහයට නිසි පිළිතුරු ලබා දුන්නේ (මෙතෙක්) තරග 4ක දී නොදැවුණු ඉනිම දෙකක් ද සහිතව, ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ද සමඟින්, ලකුණු 161කට වැඩි ප්‍රහාරාත්මක වේගයක් ද වාර්තා කරමිනි. මේ වසරේ ඔහුගේ මෙතෙක් සාමාන්‍යය ලකුණු 126කි.

@thehindu.com – ගේල් තම “පිළිතුරු ශතකය” වාර්තා කොට පිත්තට ආචාර කළේය.

“මම තමයි ඔවුන්ගේ (RCB) ලොකුම මිල. ඒ පැත්තෙන් මට යම් කනගාටුවක් තිබුණා. මොකද ඔවුන්ගේ කණ්ඩායමට මාව උවමනා යැයි ඔවුන් මට කතාකොට තිබුණා. ඔවුන් කීවා මාව කණ්ඩායමේ තබා ගන්නවාය කියා.” ගේල් ESPN මාධ්‍යය වෙත අදහස් දක්වා තිබුණේ එලෙසින්.

“කෙනෙකුට කියන්නට පුළුවන් වෙන්දේසියේ පළමු වටයේ දී මාව තෝරා නොගත් නිසා ක්‍රිස් ගේල්ට IPL වෙත ඔප්පු කරන්නට බොහෝ දේවල් තිබෙනවා කියා. ඒත් මම කියන්නේ විරෙන්දර් ෂෙවාග්, ඔබ මාව මිලට ගෙන IPL බේරාගත්තා.”

කිසිදු කණ්ඩායමකට තෝරා නොගැනුනු ක්‍රිස් ගේල්ව තමන්ගේ කණ්ඩායමට බඳවාගත්තේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පුහුණුකරු විරෙන්ඩර් ෂෙවාග් ය. ක්‍රිස් ගේල් පවසන අන්දමට ෂෙවාග් බේරාගත්තේ ඔහුව නොවේ. ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියයි. තමාගෙන් තොරව ප්‍රේක්ෂකයන්ගේ ඇල්ම IPL වෙත සුපුරුදු පරිද්දෙන් නොලැබෙන බවට ගේල් හට තිබුණේ අධිෂ්ඨාන සහගත විශ්වාසයකි.

@i1.wp.com – “මම හැමවිටම අධිෂ්ඨානයෙන් ඉන්න කෙනෙක්.”

“මම හැමවිටම අධිෂ්ඨානයෙන් ඉන්න කෙනෙක්.” ගේල් තවදුරටත් කියා තිබිණි. එසේ පවසමින් ක්‍රිස් ගේල් ලබාගත්තේ මෙම තරගාවලියේ (2018) තරග 4ක් තුළ ඔහු ලැබූ දෙවන “තරගයේ වීරයා” සම්මානයයි.

“මම BPL (බංගලාදේශ ප්‍රීමියර් ලීගය) සහ CPL (කැරිබියන් ප්‍රීමියර් ලීගය) වලදී හොඳින් ක්‍රීඩා කළා. BPL වලදී ශතක දෙකක් වාර්තා කළා. සංඛ්‍යා දත්ත ඔබට බොරු කියන්නේ නැහැ. ශතක 21ක්, වැඩිම හයේ පහරවල් වාර්තා කරපු ක්‍රිස් ගේල්ගේ නම IPL වල සලකුණු වෙන්නේ නැතිනම් මම දන්නෙ නෑ මොකක් නිසා එහෙම වේවි ද කියලා.” ක්‍රිස් ගේල් තමන් ගැන වර්ණනා කරන්නේ වැඩ පෙන්වූ පසුබිමකය. ඔහුගේ නම කණ්ඩායමක් විසින් පළමු වටයේ දී ම තෝරා නොගැනීම පිළිබඳ වන නුරුස්නාව ඔහු විසින් පහසුවෙන් මුදා හැර තිබේ.

“කණ්ඩායමක් මාව තෝරා නොගැනීම ගැන අවංකවම මට තිබුණේ පුදුමයක්!” ක්‍රිස් ගේල් තවදුරටත් පැවසීය.

“සමහර විට ඒක දෛවයේ සරදමක් වෙන්න ඇති. කිංග් (King) ගේල්, කිංග්ස් ඉලෙවන් කණ්ඩායමට ක්‍රීඩා කිරීම!” ගේල්ගේ පිත්ත මෙන්ම වචන ද වදින්නන්ට සුන්නද්දූලි වන්නට වදින පහරවල් ය. සුරතලයට ගේල් ස්ටෝම් (Gayle storm – ගේල් සුළි සුළඟ) ලෙස ඔහුව හඳුන්වන්නේ හේතුවක් නැතිව නොවේ.

2018 IPL තරගාවලියට තෝරාගැනීමෙන් පසුව ද ඔහුට පළමු තරග දෙක ගතකරන්නට වූයේ අතිරේක බංකුවේයි. එහෙත්

@cricket.yahoo.net – ගේල්ගේ ජවය

එරන් ෆින්ච් සහ ඩේවිඩ් මිලර්ගේ අසාර්ථකත්වය නිසා කිංග්ස් ඉලෙවන් කණ්ඩායම වෙත කැඳවන ලද ගේල් වැඩ ඇරඹුවේ පන්දු 33ක් තුළ ලබාගත් ලකුණු 63 කිනි.

ක්‍රීඩක වෙන්දේසියේ අවසන් වටයේ දී තේරී පත්වූ ගේල් සදාකාලිකවම ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ මන්ද මානසිකත්වයෙන් ද තොර ය.

“ජීවිතයේ එක් තැනක දී IPL සහ ක්‍රිකට් අත්හැරලා යන්න වේවි. මම කවදත් මෙහෙමයි. ජීවත් වෙන්නේ වර්තමානය තුළයි.”

එසේ කියන ක්‍රිස්ටෝෆර් හෙන්රි ගේල්, පිත්තෙන් සියලු සැක දුරුකොට ඇත. වයස අවුරුදු 38ක ක්‍රීඩකයෙකු වූවත් තමන් දස්කම් අතර සිටින බව තහවුරු කළ ගේල්, අනෙකුත් ක්‍රීඩකයන්ට ද ලබා දෙන්නේ වැදගත් පණිවුඩයකි. ඇනුම් පද හෝ ඇවිටිලි කළ යුත්තේ දස්කම් රහිතව නොවේ. ඔබ දස්කම් අතර බව ඔබට ලැබෙන පළමු අවස්ථාවේ දී ම තහවුරු කළහොත් කිසිවෙකුට ඔබ පාගා දැමිය නොහැකියි.

සමස්තයක් වශයෙන්, වඩාත්ම තරගකාරී දේශීය විස්සයි – විස්ස තරගාවලිය වන IPL හිදී මෙතෙක් ලකුණු 43.08ක සාමාන්‍යයක් ද, ලකුණු 151.8ක ප්‍රහාරක වේගයක් ද, ශතක 6ක් ද, අර්ධ ශතක 23ක් ද පමණක් ඉන්දියානු ව්‍යාපාරිකයන්ට හෝ IPL පුහුණුකරුවන්ට වැදගත් නොවූ පසුබිමක දී, තමන් කුමන මට්ටමක කුමන දස්කම් සහිතව සිටින්නෙකු දැයි ක්‍රියාවෙන්ම ඔප්පු කළ ක්‍රිස් ගේල් තවත් යම් කාලයකට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය මත බැබළෙනු ඇති බවට සාක්ෂි ඔහු විසින් ලබා දී ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<