ස්ටෝක්ස්ගේ මැද ඇඟිල්ලේ ඔබ නොදන්න කතාව

2462
Ben Stokes

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඊයේ (25) පැවති රාජස්ථාන් රෝයල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගයේ ජයග්‍රහණය හිමි වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමටය. ලකුණු 195ක් හඹා ගිය රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් තම දෙවන ඉන්දීය ප්‍රිමියර් ලීග් ශතකය වාර්තා කිරීමට බෙන් ස්ටෝක්ස් සමත් විය.

පරම්පරාවකට වරක් බිහි වන (once in a generation) ක්‍රීඩකයෙකු ලෙස බොහෝ දෙනා හඳුන්වන ස්ටෝක්ස් පසුගිය වසරේ දී ක්‍රිකට් සම්මාන රැසකට හිමිකම් කීවේ 2019 ලෝක කුසලානයේ දී හා අළුබඳුන තරගාවලියේ දී ඔහු දැක්වූ දක්ෂතා නිසාවෙනි. 

පීඩනයක් සහිත තත්වයන් යටතේ තම කණ්ඩායම මෙහෙයවීමේ සිට පන්දුව සමඟ තීරණාත්මක පන්දුවාර කීපයක් යැවීම ඇතුළුව ඔහු ඔහුට හැකි සියල්ල කණ්ඩායම වෙනුවෙන් කරන්නට කිසිවිටක පසුබට නොවේ. 

කෙසේ වෙතත් බෙන් ස්ටෝක්ස් ශතකය ලබා ගැනීමෙන් අනතුරුව සිය සතුට සැමරූ ආකාරය බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය. තම පිත්ත අහසට දිගු කිරීමට අමතරව ඔහු තවත් සුවිශේෂී සංඥාවක් කළේය. ඒ සිය අතේ මැදැඟිල්ල නවමින් ප්‍රේක්ෂකාගාරය වෙත දිගු කරමිනි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න 

 

 

මෙම සංඥාව බොහෝ මාධ්‍යවල කැමරා කාචයේ සටහන් වී තිබුණු අතර ස්ටෝක්ස්ගේ මෙම සුවිශේෂී අභිනය පිළිබඳව ඇත්තේ සුවිශේෂි කතාවකි.

නවසීලන්තයේ හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන බෙන් ස්ටෝක්ස්ගේ පියා වන ජෙඩ් ස්ටොක්ස් ඔහුගේ පුතා සමඟ රග්බි පුහුණුකරුවෙකු ලෙස සේවය කිරීම සඳහා මීට කලකට පෙර එංගලන්තයට පැමිණියා. ස්ටොක්ස්ගේ සුවිශේෂී සැමරුම පිටුපස සිත්ගන්නාසුළු කතාව ද එයට සම්බන්ධය.

ජෙඩ් ස්ටොක්ස් වෘත්තීය රග්බි ක්‍රීඩාවේ නියැලී සිටිය දී ඔහුගේ ඇඟිලි තුඩුවල ආබාධයක් ඇතිවී තිබුණේ බොහෝ අවස්ථාවල දී ඇතිවූ තෙරපීම් හා වෙනත් ආබාධ හේතුවෙනි. මෙම තත්ත්වය නිසා ඔහුට ශල්‍යකර්මයක් කිරීමට වෛද්‍යවරු උපදෙස් දී තිබුණු අතර එයට අමතරව ඔහුට ටික කලක් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට ද වෛද්‍යවරුන් උපදෙස් දී තිබුණි.

කෙසේ වෙතත් එම කාලය වන විට ස්ටෝක්ස් පවුලේ තිබූ ආර්ථික අපහසුතා නිසා රග්බි ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට ජෙඩ්ට හැකියාවක් තිබුණේ නැත. මේ නිසා දිගටම ක්‍රීඩා කිරීම සඳහා ඔහුගේ ඇඟිල්ල කපා දැමීමට ජෙඩ් ස්ටොක්ස් තීරණය කළේය. 

ස්ටොක්ස්ගේ ඇඟිලි සැමරුම ඔහුගේ පියාට උපහාරයක් ලෙස සිදු කරන ලද්දකි. එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ සිහිනය තම පුතාට අවබෝධ කර දීම සඳහා ජෙඩ් ස්ටෝක්ස් බොහෝ කැපකිරීම් කර තිබුණි.  

බෙන් ස්ටෝක්ස් මෙලෙස සංඥා කළ පළමු අවස්ථාව මෙය නොවේ. මේ වසරේ ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ දී ස්ටොක්ස් ද එවැනිම සැමරුමක් කළේය. එකල මාධ්‍ය විසින් එම ප්‍රවෘත්තිය සඳහා විශාල ඉඩක් වෙන් කර තිබුණි.

ඒ වන විට ඔහුගේ පියා හදිසි අසනීපයක් නිසා දකුණු අප්‍රිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. ඉන් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු ඔහු මේ වසර මුලදී රෝහලෙන් පිටව ගොස් ඇත.

1980 දශකයේ රග්බි ලීග් ක්‍රීඩකයෙකු ලෙස තම පියා මුහුණ දුන් දුෂ්කර කාලය සඳහා උපහාරයක් ලෙස මෙලෙස තමන් ඇඟිල්ල නවමින් සංඥා කළ බව බෙන් ස්ටෝක්ස් පවසා තිබුණි. 

“වෛද්‍යවරයා ඔහුට කිව්වා ශල්‍යකර්මයක් කරලා ක්‍රීඩාවෙන් ඉවත් වෙලා සැලකිය යුතු කාලයක් ඉන්න කියලා. ඒත් අපිට තිබුණ අපහසුතා නිසා දිගටම ක්‍රීඩා කරන්න ඔහුට අවශ්‍ය වුනා. ඒ නිසා ජෙඩ් වෙනත් විකල්පයක් ඉල්ලා සිටියා. අපිට එකම එක විකල්පයයි තිබුණේ. ඒ ඇඟිල්ල ඉවත් කිරීම. ඔහු එය කරන්න තීරණය කළා.” 

ස්ටෝක්ස් උපුටා දක්වමින් The Guardian පුවත්පත සඳහන් කර තිබුණි. 

“මගේ තාත්තා නිතරම මගේ සිතේ රැඳී සිටියා. ඒ නිසා මගේ ඔළුවේ හැමවෙලේම ඔහු ගැන මතකයක් තිබුණා. ඔහු කළ කැපකිරීම් ගැන මගේ මතකයේ තිබුණා. මම ඔහුට සදා ණය ගැතියි.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<