වර්තමාන පරිපූර්ණම ක්‍රිකට් ක්‍රීඩකයා ගැන රූට්ගෙන් වර්ණනාවක්

211

ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුල නිරන්තරයෙන් කියැවෙන නම් කීපයක් ඇත. ඉන් වඩාත්ම පරිපූර්ණ ක්‍රිකට් ක්‍රීඩකයා කවුරුන් ද? එංගලන්ත ටෙස්ට් නායකයා වන ජෝ රූට් එයට පිළිතුරු ලබා දීමට පසුගියදා එක්ව සිටියා. 

එහි දී අදහස් දක්වමින් එංගලන්ත නායකයා පවසා සිටියේ ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව තුල පරිපූර්ණම පිතිකරු ලෙස හැඳින්විය හැකි බවයි.

ඉන්දීය ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස නායකයා වන විරාත් කෝලි මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ශතක 70ක් වාර්තා කර ඇත. එයට අමතරව එම තරග රටා තුනේම වාර්තා රැසකට හිමිකම් කියයි.

විස්සයි විස්ස තරග රටාව තුල වැඩිම ලකුණු ලාභියා වන කෝලි වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව තුල වඩාත් සාර්ථකම නායකයා ලෙස සැලකේ.

The Big Four එනම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුල ප්‍රබලතම ක්‍රීඩකයන් සිව්දෙනා අතරට විරාත් කෝලිට අමතරව ඕස්ට්‍රේලියා හිටපු නායක ස්ටීව් ස්මිත්, නවසීලන්ත නායක කේන් විලියම්සන් සහ එංගලන්ත නායක ජෝ රූට් ඇතුළත් වේ.

The Analyst’s Virtual Cricket Cricket Club වැඩසටහන සමඟින් පසුගිය දා ජෝ රූට් එක්ව සිටි අතර එහි දී ඔහු The Big Four පිළිබඳව ද අදහස් දක්වා සිටියා.

“ඇත්තටම ස්මිත්, කෝලි සහ කේන් කියන්නේ ලෝකයේ බිහි වුන ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන් තුන්දෙනෙක්. ලෝක ක්‍රීඩාවේ බිහි වුන ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන් ඔවුන් වෙන්න පුළුවන්. ” 

“ඔවුන් ක්‍රීඩා කරන ආකාරය බලන්න වටිනවා. ඒ වගේම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. ඇත්තටම කියනවා නම් මම ඔවුන් එක්ක The Big Four එකේ ඉන්න එක ගැන පුදුම වෙනවා. ඔවුන් මට වඩා ගොඩක් දක්ෂ ක්‍රීඩකයන්.” 

තවත් ක්‍රිකට් පුවත්: 

ඉන් අනතුරුව එක් එක් ක්‍රීඩකයන් පිළිබඳව විශේෂ සඳහනක් සිදු කළ රූට් පවසා සිටියේ සෙසු ක්‍රීඩකයන් අතරින් කෝලි වඩාත්ම පරිපූර්ණ ක්‍රීඩකයා වන බවයි.

“ඔවුන් අතරින් විරාත් කෝලි තමයි වඩාත්ම පරිපූර්ණ ක්‍රීඩකයා. ටෙස්ට්, එක්දින වගේම විස්සයි විස්ස තරග තුලත් ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. සීමිත පන්දුවාර තරග ගත්තම ඔහු ඉලක්ක හඹායන විදිහ ඉතාමත් විශිෂ්ටයි. ඉනිම් වේගවත් කරන්නත් ඔහු ඒක කරන සෑම වෙලාවකම අවසානයේ නොදැවී ඉන්න ඔහුට තියන හැකියාව අසාමාන්‍යයි” රූට් පැවසීය.

“තරගයක් තුල සෑම අංශයකින්ම ඔහු දක්ෂයෙක්. ඔහුගේ දක්ෂතා තියෙන්නේ වේගපන්දු යවන්නන්ට විතරක් නෙමෙයි. දඟපන්දු යවන්නන්ටත් ඔහු හොඳින් මුහුණ දෙනවා.” 

The Big Four ක්‍රීඩකයන්ට අමතරව එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර් ද ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුල ප්‍රබල ක්‍රීඩකයෙකු බව ජෝ රූට් තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

ජෝස් බට්ලර් මේ වන විට සීමිත පන්දුවාර තරග තුල ප්‍රබල ක්‍රීඩකයෙකු බවත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුල ද ඔහු සාර්ථක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ජෝ රූට් පැවසීය.

විරාත් කෝලි, කේන් විලියම්සන් සහ ස්ටීව් ස්මිත් මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කරමින් සිටී.

ලෝක ටෙස්ට් බලවතුන්ගේ ගැටුම ලෙස හැඳින්වෙන එංගලන්ත ඉන්දීය ටෙස්ට් තරගාවලිය ඉන්දියාව තුල පැවැත්වීමට තමන් බලාපොරොත්තු වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය දා නිවේදනය කළේය. එම තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතය.

Cricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<