Kapil Dev ගැන සුබ ආරංචියක්

177

හෘදයාබාධයක් නිසාවෙන් පසුගිය දා හදිසියේ රෝහල් ගත කළ හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයෙකු මෙන්ම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ Kapil Dev හට හෘද සැත්කමක් සිදු කිරීමෙන් අනතුරුව ඔහුගේ තත්වය මේ වන විට යහපත් අතට හැරී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට 61 වැනි වියේ පසු වන Kapil Dev පසුගිය දිනවල දී යම් අසනීප තත්වයකින් පෙළුණු නිසාවෙන් සිය පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත රෝහල් ගතවීමෙන් අනතුරුව ඔහුගේ හෘදයේ ධමනි සිරවීමක් සිදු වී ඇති බව වටහා ගැනීමෙන් පසුව සැත්කමකට භාජනය කොට තිබුණි.

රෝහල් ගත වන අවස්ථාවේ දී ඔහුගේ තත්වය තරමක් බරපතළ වූ බැවින් ඔහුව දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමට පියවර ගෙන තිබූ අතර සිය සැමියාගේ රෝගී තත්වය පිළිබඳව Sportstak වෙත අදහස් දක්වමින් ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර තිබුණේ සැත්කමින් පසුව ඔහු තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ දැඩි සත්කාර ඒකකයේ පසු වන නමුත් ඔහුගේ තත්වය ඉතාමත් ඉක්මනින් යහපත් අතට හැරෙමින් පවතින බවයි.

තවත් ක්‍රිකට් පුවත්:

Kapil Dev රෝහල්ගත වීම සැළවීමත් සමඟ ලොව පුරා වෙසෙන ක්‍රීඩකයින් ඇතුළු බොහෝමයක් දෙන ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් පණිවිඩ නිකුත් කර තිබූ අතර එම ආශීර්වාදවලට සිය ස්තුතිය පුද කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තැබීමට ද Kapil Dev කටයුතු කර තිබුණි.

ඉන්දියාව බිහි කළ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන Kapil Dev 1978 වසරේ සිට 1994 වසර දක්වා සිය කණ්ඩායම වෙනුවෙන් අමිල සේවයක් ඉටු කරමින් ටෙස්ට් තරග 131ක් සහ එක්දින තරග 225ක් සඳහා සිය දායකත්වය සැපයූ අතර ටෙස්ට් ලකුණු 5,000 සහ කඩුලු 400ක් ලබා ගනිමින් මෙතෙක් එවැනි දස්කමක් පෑ මුල්ම සහ එකම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වීමට ද ඔහු සමත් විය.

දක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම හොඳ නායකයෙකු ද වූ Kapil Dev 1982 වසරේ සිට වසර ගණනාවක්ම ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර 1983 වසරේ දී ඉන්දීය කණ්ඩායමට කුළුඳුල් එක්දින ලෝක කුසලානය හිමි කර දීමට ඔහු රට වෙනුවෙන් අමිල සේවයක් ඉටු කරන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<