අඩුවෙන් තක්සේරු කළත් සුපිරි දස්කම් දක්වන IPL තරු

299

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වේ. මාස කීපයක ක්‍රිකට් විරාමය නිමා කරමින් ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වන විට ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ට පුවත් මවන තරගාවලියක් වී හමාරය. 

පසුගිය තරගාවලිවලට වඩා මෙවර තරගාවලිය තරමක් තරගකාරී වී ඇත. 2020 ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයන් අසාර්ථක වෙද්දී එතරම් මුදලක් හිමිනොවූ ක්‍රීඩකයන් කීපදෙනෙකු මෙවර තරගාවලිය උඩු යටිකුරු කිරීමට සමත්ව තිබේ. 

මේ විමසීම ඉන්දීය රුපියල් කෝටි 3කට එනම් ශ්‍රී ලංකා රුපියල් කෝටි 7.5කට වඩා අඩු මුදලකට අලෙවි වී තම කණ්ඩායම වෙනුවෙන් ප්‍රබල භූමිකාවක් ඉටු කළ ක්‍රීඩකයන් පස් දෙනෙකු පිළිබඳවයි.

ඉසුරු උදාන – Royal Challengers Bangalore 

(ඉන්දීය රුපියල් ලක්ෂ 50/ ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.25) 

ශ්‍රී ලංකාවේ එකම ඉන්දීය ප්‍රිමියර් ලීග් නියෝජනය වන ඉසුරු උදාන පසුගිය වසරේ පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි වන විට බොහෝ දෙනා පවසා සිටියේ ඔහු Royal Challengers Bangalore කණ්ඩායම වෙනුවෙන් තරග කීපයක් පමණක් ක්‍රීඩා කරනු ඇති බවයි. නමුත් ඔහු ක්‍රීඩා කළ තරග කීපයේ දී ඔහුගේ වටිනාකම ක්‍රියාවෙන් ඔප්පු කිරීමට සමත් විය. 

Royal Challengers Bangalore කණ්ඩායමේ අවසන් පන්දුවාර කීපය ක්‍රියාත්මක කළ හැකි වේගපන්දු යවන්නන් කීපදෙනා අතරට ඉසුරු උදාන ද නැතිවම බැරි ක්‍රීඩකයෙක් බවට පත්ව හමාරය.

Royal Challengers Bangalore කණ්ඩායමේ නිත්‍ය ආරම්භක වේගපන්දු යවන්නා ලෙස කටයුතු කළ Dale Steyn පළමු තරග කීපය තුල දී අසාර්ථක වීමත් සමඟින් එම ස්ථානය හිමිවූයේ ඉසුරු උදාන හටය. 

ඉසුරු උදාන මෙවර තරගාවලිය තුල Royal Challengers Bangalore කණ්ඩායම වෙනුවෙන් අවසන් පන්දුවාර කීපය තුල වැඩිම පන්දු ප්‍රමාණයක් යැවූ පන්දු යවන්නා වන අතර ඔහුගේ ලකුණු ලබා දීමේ සාමාන්‍ය (Economy Rate) 9.44 ක් ලෙස සටහන්ව ඇත. 

Royal Challengers Bangalore කණ්ඩායමේ තීරණාත්මක අවස්ථාවල දී ප්‍රබල කඩුලු කීපයක් දවා ගැනීමට ඉසුරු උදාන සමත් විය. Mumbai Indians සමඟ පැවති තරගයේ දී අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කරමින් ජයග්‍රහණය අභියස සිටි Mumbai කණ්ඩායමේ ලකුණු 99ක් ලබා සිටි ඉශාන් ක්‍රිශාන් දවා ගැනීම එම තරගයේ තීරණාත්මක අවස්ථාවක් විය. 

Rajasthan Royals සමඟ පැවති තරගයේ දී Steve Smith මුල් පන්දුවාර කීපය තුල දවා ගැනීම මෙන්ම Kolkata Knight Riders කණ්ඩායම සමඟින් පැවති තරගයේ දී Andre Russell දවා ගැනීම ඔහුගේ කඩුලු 7 තුල තීරණාත්මකම කඩුලු ලෙස සටහන්ව තිබේ. 

තවත් ක්‍රිකට් පුවත්: 

Rahul Tewatia – Rajasthan Royals

(ඉන්දීය රුපියල් කෝටි 3)

Rajasthan Royals කණ්ඩායමේ ගැලවුම්කාරයා වූ Rahul Tewatia තරග 11ක් තුල දී ලකුණු 224ක් ලබාගෙන ඇත්තේ සාමාන්‍ය 44.80ක් ලෙස සටහන් කරමිනි. Rajasthan Royals කණ්ඩායම වෙනුවෙන් සිව්වැනි වැඩිම ලකුණු ලාභියා වන Rahul Tewatia පන්දුවට පහරදීමේ වේගය (Strike Rate) 143.58ක් ලෙස රඳවා ගෙන ඇත්තේ Steve Smith සහ Jos Buttler ද පසුකර යමිනි. 

පිතිකරුවෙකු පමණක් නොව පන්දු යවන්නෙකු ලෙස ද තම වගකීම ඉටු කළ Rahul Tewatia කඩුලු 7ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එම කණ්ඩායම වෙනුවෙන් දෙවන වැඩිම කඩුලු ලාභියා වන්නේ ඔහුයි. 

Ravi Bishnoi – Kings XI Punjab

(ඉන්දීය රුපියල් කෝටි 2)

පසුගිය වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කැපීපෙනෙන වගකීමක් ඉටු කළ Ravi Bishnoi මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 10ක් තුල කඩුලු 9ක් දවා ගැනීමට සමත්ව ඇත. එම කණ්ඩායම වෙනුවෙන් දෙවන වැඩිම කඩුලු ලාභියා වන්නේ ද ඔහුය. 

David Warner, Eoin Morgan, Aaron Finch සහ Jonny Bairstow ගේ තීරණාත්මක කඩුලු දවා ගැනීමට ඔහු සමත් විය.

Priyam Garg – Sunrisers Hyderabad

(ඉන්දීය රුපියල් කෝටි 1.9)

19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය නායකයා වූ Garg, Sunrisers Hyderabad කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වී හමාරය. තරග 9ක් තුල ලකුණු 106ක් වාර්තා කර ඇති ඔහුගේ තීරණාත්මකම ඉනිම වූයේ Chennai Super Kings සමඟ පැවති තරගයේ දී පන්දු 26ක් තුල වාර්තා කළ ලකුණු 51යි.

Garg එම කණ්ඩායම තුල සිටින ඉහල මට්ටමේ පන්දු රකින්නෙකු වන අතර මේ දක්වා ඔහු ලබාගෙන ඇති උඩපන්දු සංඛ්‍යාව 4කි. එයට අසීරු උඩපන්දු රැකගැනීම් දෙකක් ද ඇතුළත් විය.

Kartik Tyagi – Rajasthan Royals

(ඉන්දීය රුපියල් කෝටි 1.3)

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ Kartik Tyagi, Rajasthan Royals  කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකු ලෙස සිය වගකීම ඉටු කිරීමට සමත් විය. පැයට කිලෝමීටර් 140ට වැඩි වේගයකින් පන්දු යැවීමට සමත් වන ඔහු අවසන් පන්දුවාර කීපය තුල පන්දු 37ක් ක්‍රියාත්මක කර ඇති අතර එහි ලකුණු ලබා දුන් වේගය 8.91ක් ලෙස සටහන් කරමිනි. 

Virat Kohli, Jonny Bairstow, Shane Watson, Shreyas Iyer, Shimron Hetmyer සහ Quinton de Kock ඇතුළුව කඩුලු 6ක් දවා ගැනීමට ඔහු සමත්ව තිබේ.

මෙම ක්‍රීඩකයන්ට අමතරව Tushar Deshpande (Delhi Capitals), Deepak Hooda (Kings XI Punjab), සහ Rahul Tripathi (Kolkata Knight Riders) ද අඩු මුදලකට අලෙවි වී ප්‍රබල දස්කම් දැක්වූ ක්‍රීඩකයන් ලෙස මෙවර තරගාවලිය තුල කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

Cricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<