ටෙස්ට් තමයි බෙස්ට්!

The Ashes 2023

974

2023 අළුබඳුන තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (20) සමත් වුනා.

තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනයේ උදෑසන සැසිය පුරාවටම වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වූ නමුත් ඉතිරි වී තිබූ සැසි දෙක තරගයේ තීරණයක් කරා යාමට ප්‍රමාණවත් බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබුණා.

ඒ වන විට තරගය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාවට ලකුණු 174ක් සහ එංගලන්තයට කඩුලු 7ක් අවශ්‍ය ව තිබූ අතර දිනය ආරම්භ කිරීමට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Usman Khawaja සහ Scott Boland දෙදෙනා පිටියට පිවිසුණා.

දිනයේ පළමු සහ ඕස්ට්‍රේලියානු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 20ක් ලබා සිටි Bolandව දවා ගැනීමට Stuart Broad විසින් සමත් වූ අතර එතැන් පටන් වරින් වර දෙපිළට ම දෝලනය වෙමින් තරගය ඉදිරියට ඇදී ගියා.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුවේ ලකුණු 209ක් සටහන් වන විට එතෙක් වෙලා විශිෂ්ට ඉනිමක් දියත් කරමින් සිටි Khawajaව ලකුණු 65කට දවා ගැනීමට එංගලන්ත නායක Ben Stokes විසින් සමත් වූ අතර ඉන් පසු නායක Pat Cummins පිටියට පිවිසුණා.

මේ අතර එංගලන්තය විසින් මෙම තරගාවලිය වෙනුවෙන් ම සිය ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස කැඳ වූ Moeen Aliගේ ඇඟිල්ලේ ආබාධයක් නිසා ඔහුට සිය උපරිමය කණ්ඩායම වෙත ලබා දීමේ ගැට‍ලුවක් ද නිර්මාණය වී තිබුණා. කෙසේ වෙතත් අවශ්‍ය ම මොහොතේ පන්දුව අතට ගත් හිටපු එංගලන්ත නායක Joe Root විසින් පැරණි පන්දුවෙන් (නියමිත පන්දුවාර ප්‍රමාණය සම්පූර්ණ වීමෙන් පසුවත් නව පන්දුව ලබා නොගෙන පැරණි පන්දුවෙන් තවත් පන්දුවාර කිහිපයක් යැවීමට Ben Stokes විසින් පියවර ගත්තා.) විශිෂ්ට දඟ කැවීමක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියා පිතිකරුවන් පීඩනයට පත් කිරීමට සමත් වුනා.

කෙසේ හෝ ඕස්ට්‍රේලියානු ඉනිමේ ඉතිරිව සිටි අවසන් විශේෂඥ පිතිකරු ලෙස සැලකිය හැකි Alex Carey විසින් Rootගේ පීඩනයෙන් ගැලවීමට උත්සාහ කිරීමේ දී Root අතට ම උඩ පන්දුවක් ලබා දෙමින් සිය ඉනිම නිමා කළා.

ඒ අනුව ඕස්ට්‍රේලියානු ඉනිමේ 8 වැනි කඩුල්ල ලකුණු 227 දී දැවී ගිය අතර, ඒ වන විට තවත් ලකුණු 54ක් ජයග්‍රහණය සඳහා ඔවුන් ලබා ගත යුතු ව තිබුණා.

ඒ මොහොතේ නායක Cummins සමඟ පිටියේ එක් වූ Nathan Lyon විසින් කිසිවකුත් නොසිතූ නොපැතූ විශිෂ්ට සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා.

එංගලන්ත පන්දු යවන්නන් විසින් ඕස්ට්‍රේලියානු ඉනිමේ 9 වැනි කඩුල්ල බිඳ හෙළීමට කෙතරම් උත්සාහ දැරුව ද ඒ කිසිම උත්සාහයක් සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ අනුව ඕස්ට්‍රේලියානු ඉනිමේ 93 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී Pat Cumminsගේ පිත්තේ පිටත අග්‍රයේ වැදුණු පන්දුවක් හතරේ සීමාව කරා ඇදී යාමත් සමඟ ඕස්ට්‍රේලියාව විසින් ඉතිහාස ගත අළුබඳුන ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

මෙහි දී නායක Cumminsගේ පිත්තෙන් ලකුණු 44ක් වාර්තා වූ අතර, Lyonගේ පිත්තෙන් ලකුණු 16ක් වාර්තා වුනා.

ඒ අනුව තරග පහකින් සමන්විත 2023 අළුබඳුන තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා.

ඊයේ දිනයේ තරගය පැවැත්වුණු ස්වභාවය අනුව සහ ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 8ක් බිඳ වැටීමෙන් පසුව බොහෝ දෙනෙකු එංගලන්තය විසින් මෙම තරගය ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂාවෙන් බලා සිටියා. නමුත් ඕස්ට්‍රේලියාව විසින් බලාපොරොත්තු නොවූ ලෙස සිදු කළ මෙම විශිෂ්ට හඹා යාම සමාජ මාධ්‍යවල යම් කැලඹීමක් ඇති කිරීමට සමත් වුනා.

“මේ වෙනකම් මේ තරගාවලිය දැනෙන්නේ 2005 අළුබඳුන තරගාවලිය වගෙයි.”

“WTC අවසන් මහා තරගය ජයග්‍රහණය කරමින් සැමරූ ආකාරය සහ මේ තරගයෙන් පසුව Cummins ජයග්‍රහණය සැමරූ ආකාරය සංසන්දනය කරන්නවත් බැහැ. ඔවුන්ට අළුබඳුන කියන්නේ හැම දෙයක් ම.”

තරගාවලියේ දෙවන තරගය එළඹෙන 28 (බදාදා) ආරම්භ වීමට නියමිත අතර ඒ පිළිබඳ ව සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<