තරංගගේ අර්ධ ශතකය Lions අවසන් මහා තරගය වෙත රැගෙන යයි!

Legends league Cricket 2023

3409

ඊයේ (18) පැවැත්වුණු Legends League Cricket තරගාවලියේ Eliminator තරගයෙන් India Maharajas කණ්ඩායමට එරෙහිව ලකුණු 85ක ජයග්‍රහණයක් හිමි කර ගත් Asia Lions කණ්ඩායම හෙට (20) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සහභාගී වීමට සුදුසුකම් ලබා ගත්තා.

මෙම තරගය සඳහා ද උපුල් තරංග, තිලකරත්න ඩිල්ශාන්, තිසර පෙරේරා සහ ඉසුරු උදාන Asia Lions නියෝජනය කරමින් තරග බිමට පිවිසුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගත් Lions කණ්ඩායමේ සුපුරුදු ආරම්භක පිතිකරු යුගලය වන ඩිල්ශාන් සහ තරංග ඊයේ දිනයේ ද ඉතාමත් සාර්ථක ආරම්භයක් Lions ඉනිමට ලබා දීමට සමත් වුනා.

තරගාවලිය පුරා Lions කණ්ඩායමේ පිතිකරණ බල කණු දෙක බවට පත් වීමට සමත් වූ තරංග සහ ඩිල්ශාන් විසින් පන්දුවාර 8යි පන්දු 5ක් තුල ආරම්භක කඩුල්ලට ලකුණු 83ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර පන්දු 31කින් ලකුණු 50ක් ලබා ගත් උපුල් තරංගගේ දැවී යාමෙන් එම සබඳතාව බිඳ වැටුණා.

පසුව තිලකරත්න ඩිල්ශාන් ද ලකුණු 27ක් ලබා සිටිය දී දැවී ගිය නමුත් Lions ඉනිම බිඳ වැටීමට ඉඩ නොදුන් Mohommad Hafeez, Asghar Afghan සහ තිසර පෙරේරා විසින් නියමිත පන්දුවාර විස්ස තුල දී Lions ඉනිම ලකුණු 191ක් දක්වා රැගෙන ඒමට සමත් වුනා. ඒ වන විට India Maharajas කණ්ඩායමට බිඳ හෙළීමට හැකි වුනේ කඩුලු 5ක් පමණයි.

ඉනිමේ අවසන් මොහොතේ වේගවත් පිතිකරණයක නිරත වූ තිසර පෙරේරා පන්දු 12කින් ලකුණු 24ක් රැස් කිරීමට සමත් වූ අතර, ඊට දැවැන්ත හයේ පහර 3ක් අන්තර්ගත වුනා.

ඒ අනුව මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට නම් ලකුණු 192ක ඉලක්කයක් හඹා යාමට Maharajas කණ්ඩායමට සිදු වූ නමුත් ඔවුන්ට ඒ වෙනුවෙන් බලාපොරොත්තු වූ තරම් දස්කම් පෙන්වීමට Lions පන්දු බල ඇණිය ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දුවාර 16යි පන්දු 4ක් තුල දී Maharajas ඉනිම සම්පූර්ණයෙන්ම දවා ගැනීමට Lions සමත් වූ අතර Maharajas වෙනුවෙන් යාන්තමින් හෝ සාර්ථක වුනේ නායක Gautam Gambhir පමණයි. ඔහු පන්දු 17කින් ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුනා.

Lions වෙනුවෙන් පන්දු යැවීමේ දී Sohail Tanvir, Abdur Razzak, Mohommad Hafeez විසින් කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම ඉසුරු උදාන සහ තිලකරත්න ඩිල්ශාන් විසින් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව Maharajas කණ්ඩායමට එරෙහිව ලද ලකුණු 85ක දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් හෙට (20) World Giants සමඟ Legends league Cricket තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව Asia Lions කණ්ඩායම උදා කර ගත්තා.

එමෙන්ම Lions වෙනුවෙන් වේගවත් අර්ධ ශතකයක් වාර්තා කළ උපුල් තරංග තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් වුනා.

  • Asia Lions 191/5 (20) – උපුල් තරංග 50, Mohommad Hafeez 38, Asghar Afghan 34, Pragyan Ojha 2/26
  • India Maharajas 106/10 (16.4) – Gautam Gambhir 32, Sohail Tanvir 2/25, Abdur Razzak 2/27, Mohommad Hafeez 2/21

Legends league Cricket තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<