වෙන්දේසියේ දී අලෙවි නොවීම ගැන දකුණු අප්‍රිකා නායකයා කනස්සල්ලෙන්

SA20

869

මීට දින කීපයකට පෙර පැවති දකුණු අප්‍රිකානු ලීග් තරගාවලි වෙන්දේසියේ දී තමන් තෝරා නොගැනීම පිළිබඳව දකුණු අප්‍රිකානු විස්සයි විස්ස නායක Temba Bavuma ඔහුගේ කලකිරීම පලකර තිබුණා.

මෙම සතිය මුල දී සමාරම්භක SA20 ලීග් තරගාවලියේ වෙන්දේසිය පැවැත්වුනා. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායක Temba Bavuma ඔහුගේ මූලික වෙන්දේසි මිල දකුණු අප්‍රිකානු රැන්ඩ් 850,000 (ඇමරිකානු ඩොලර් 48,000 පමණ) ලෙස නියම කර තිබුනත්, ඔහු මිල දී ගැනීමට කිසිදු කණ්ඩායමක් කටයුතු කර තිබුණේ නැහැ.

ඔහු වෙන්දේසියේ පළමු වටයේ දී තෝරා නොගැනීමත් සමඟ දෙවැනි වටය සඳහා ද එක්වූ නමුත් එහි දී ද ඔහුව මිල දී ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැහැ.

සිය කනස්සල්ල සහ බලාපොරොත්තු සුන්වීම පිළිබඳව  මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. ඒ ඉන්දීය තරග සංචාරයක් සඳහා පිටත් වීමට පෙරයි.

මට බලාපොරොත්තු සුන්වීමක් නැහැ කිව්වොත් ඒක බොරුවක්. මම නිසැකවම තරගාවලියේ ක්‍රීඩා කරන්න අපේක්ෂාවෙන් සිටියා. මගේ පැත්තෙන්, නිසැකවම බලාපොරොත්තු සුන්වීමක් සහ යම් ආකාරයක පහත වැටීමක් වගේ හැඟීමක් තියනවා.”

Temba Bavuma පසුගිය වසරේ මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකාවේ එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකයා ලෙස පත්වුනා. ඔහු මේ වන විට එක්දින තරග 13ක් සහ විස්සයි විස්ස තරග 17ක දී දකුණු අප්‍රිකාව මෙහෙයවා තිබෙනවා. කෙසේ වෙතත් ඔහු වැලමිටේ ආබාධයක් හේතුවෙන් පසුගිය ජුනි මාසයේ දී දකුණු අප්‍රිකාවේ විස්සයි විස්ස තරග සංචාරය සඳහා එක්වුනේ නැහැ.

ජාතික කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකයා තම රටේ විස්සයි විස්ස ලීගයට තෝරා නොගැනීම දුර්ලභ අවස්ථාවක් බව Temba Bavuma පවසනවා. ඔහුට මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් තවත් කීමට දේ ඇති නමුත් දැනට ඔහු ඔහුට පැවරී ඇති ඉදිරි කාර්යය වන ඉන්දීය සංචාරය සහ ලෝක කුසලාන තරගාවලිය කෙරෙහි අවධානය යොමු කරන බවත් පවසා සිටියා.

මේ සමස්ත කාරණය ගැන ඕනෑවට වඩා ගැඹුරට හිතන්න එපා කියලා මම මට ම අවවාද කරගත්තා. මම ඒ ගැන වැඩිපුර කතා කිරීමට කැමති නැහැ. ඒ මේක ඒකට සුදුසු කාලය නොවන නිසා. දැන් අපගේ අවධානය යොමු වෙලා තියෙන්නේ ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලියට සහ ලෝක කුසලානය වෙත. අපි එහි දී කළ යුතු දේ කරන්න බලාපොරොත්තු වෙනවා.”

කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්, අපි අතර තියන මිත්‍රත්වය, අපගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය කණ්ඩායම් සගයන් කියන එකට එහායින් තියන දෙයක්. අපි ක්‍රීඩාංගණයෙන් පිටතත් මිතුරන්. මගේ කණ්ඩායම ඒ තරගාවලියට සහභාගී වීම ම මට ප්‍රමාණවත්,” Temba Bavuma පවසා සිටියා.

සිය කොන්ත්‍රාත් කාලය නිමා කරමින් සමුගැනීමට සූදානමින් සිටින දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරු Mark Boucher ද මෙම තරගාවලිය සඳහා Temba Bavuma තෝරා නොගැනීම පිළිබඳව අදහස් දක්වා සිටියා. මුළු කණ්ඩායම ම ඔවුන්ගේ නායකයා පිටුපස දැඩි ලෙස සිටින බව එහි දී ඔහු අවධාරණය කළා.

“Temba Bavuma අපේ නායකයා. මම ඔහුට 100% සහාය දෙනවා. ඔව්, මේ ගැන සමාජ මාධ්‍යවල ගොඩක් කතා වෙනවා. මට ඇත්තටම ඒකෙන් වැඩක් නැහැ. ඔහු අපේ නායකයා. අපි කණ්ඩායමක් විදිහට ඔහුට උපරිම සහය දෙනවා. ඊයේ රාත්‍රියේ කණ්ඩායම මුණගැසුනා. මම පැහැදිලිවම දැක්කා ඔහු වටා ඇති ශක්තිය. මට ඒක පැහැදිලිව පෙනුණා. මොකද ඔහු මේ වෙලාවේ මුහුණ දෙන තත්වය මට වැටහෙනවා. අවසාන කරුණ නම් අපි මේ යම් ගමනක ඉන්නේ. පසුගිය අවුරුදු දෙක පුරාවටම අපි ගමනක් යමින් ඉන්නවා.”

Mark Boucher ඔහුගේ වත්මන් තනතුරෙන් ඉවත් වූ පසු ප්‍රධාන පුහුණුකරු ලෙස Mumbai Indians හි ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වීමට නියමිත වනවා. තමා SA20 ලීගයට සහ එහි තේරීම් ක්‍රියාවලියට ගරු කරන බවත් ලොව පුරා ඇති විවිධ විස්සයි විස්ස ලීග් තරගාවලි අතරින් ජාතික කණ්ඩායම වෙන්කිරිමට මෙම තරගාවලිය ඉවහල් වන බවත් ඔහු පවසා සිටියා.

මට එක දෙයක් කියන්න පුළුවන්. ලීග් තරගාවලි කියන ඒවා වෙනස් තරගාවලි. ඒවා එනවා යනවා. මේ ඇවිත් තියෙන අලුත් ලීගය ගැන මම පූර්ණ අවබෝධයෙන් ඉන්නවා. මම හිතන්නේ ඒක අවශ්‍ය දෙයක්. නමුත් අපි ජාතික කණ්ඩායම ලීගයෙන් වෙන් කරන්න ඕනේ. ලීග් සහ වෙන්දේසිවල දී සිදු වන්නේ කුමක්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඔබට එය පාලනය කරන්න බැහැ. අවාසනාවකට ඒක තමයි ඇත්ත. දකුණු අප්‍රිකානු කණ්ඩායම ලොකු දැක්මක් එක්ක ඉන්න කණ්ඩායමක්. අපි Bavuma 100% සහය දෙනවා. අපි දැන් ලෝක කුසලානය වගේ දැවැන්ත තරගාවලියකට යනවා. ඒකෙ දි ඔහු අපගේ කණ්ඩායමේ දැවැන්ත කොටසක් වෙනවා.”

තමන් පිටුපස සිටිමින් තමන්ට සහය දෙන කණ්ඩායම පිළිබඳ Boucher ගේ ප්‍රකාශය සමඟ Bavuma එකඟ වූ අතර, ඔහු අවධාරණය කළේ තමා කිසිදු ආකාරයක අනුකම්පාවක් අපේක්ෂා නොකරන බවත් කිසිවෙකුට කිසිවක් ඔප්පු කිරීමට අවශ්‍ය නොවන බවත්ය.

මම අනුකම්පා වචන හෝ එවැනි කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට පුළුවන් උපරිමයෙන් කණ්ඩායමට සේවය කරන එක තමයි මට තියෙන ලොකුම බලාපොරොත්තුව. කණ්ඩායමේ නායකයා වීමේ වගකීම තවමත් මට තියෙනවා. මම විශ්වාස කරන විදියට මම මට පුළුවන් උපරිමය කරන්න උත්සාහ කරනවා.”

Cricinfo ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<