ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ස්ථීරයි

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවය

458
Host venues for World Test Championship 2023

2023 සහ 2025 වසර වල ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ අවසන් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයන් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා.

ඒ අනුව 2023 ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගය එංගලන්තයේ The Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර 2025 ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට වෙන්ව ඇත්තේ සුප්‍රකට Lord’s ක්‍රීඩාංගණයයි.

2021 ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගය Southampton හිදී පැවැත්වුන අතර එහි ශූරතාවය ඉන්දියාව පරාජය කරමින් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ නවසීලන්ත කණ්ඩායමයි.

2023 ලෝක ටෙස්ට් ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව පෙරමුණේ පසුවන කණ්ඩායම් ද්විත්වය Ovalහි පැවැත්වෙන අවසන් තරගය ක්‍රීඩා කිරීමට නියමිත අතර වත්මන් ප්‍රසාද ලකුණු සටහනට අනුව ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ.

70%ක ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවා ගනිමින් ඕස්ට්‍රේලියාව පෙරමුණේ සහ 60% ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවා ගනිමින් දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයේ පසුවන අතර එම කණ්ඩායම් දෙක අතර දෙසැම්බර් මස පැවැත්වෙන ටෙස්ට් තරග 3කින් යුත් තරගාවලියෙන් පසුව මෙම සටහන වෙනස් වීමට වැඩි ඉඩක් පවතී.

මෙම ප්‍රසාද ලකුණු සටහනට අනුව 53.33%ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයත්, 52.08% ප්‍රතිශතයක් ලබා ගනිමින් ඉන්දියාව සිව්වැනි ස්ථානයත් සහ 51.85%ක ප්‍රතිශතයක් රඳවා ගනිමින් පාකිස්තානය පස්වැනි ස්ථානයේත් රැඳී සිටියි.

2023 ටෙස්ට් ශූරතාවයේ තවත් තරගාවලි කිහිපයක්ම ඉතිරිව ඇති නිසාවෙන් අවසන් කණ්ඩායම් දෙක තීරණය කිරීමට එම තරගාවලීන් අවසාන වන තෙක් රැඳී සිටීමට සිදුවනු ඇත.

මෙම ටෙස්ට් ශූරතාවයෙන් පසුව පැවැත්වෙන 2025 ටෙස්ට් ශූරතාවය පැවැත්වෙන Lord’s ක්‍රීඩාංගණය ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙසින් ද හඳුන්වන අතර සුප්‍රකට තරග රැසකට සත්කාරකත්වය ලබා දුන් මෙම ක්‍රීඩාංගණයේ දී 2019 ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වුනා.

අවසන් මහා තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයන් පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක නිලධාරි Geoff Allardice ප්‍රකාශ කළේ ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය The Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බවයි.

“අපි 2025 ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය සම්පූර්ණ පසුබිමක් සහිතව Lord’s ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.”

“පසුගිය වසරේ පැවති ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය වඩාත් සිත්ගන්නා සුළු එකක් වූ අතර 2023 අවසන් තරගය ද එලෙස සිත්ගන්නා සුළු එකක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙනුවෙන් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තූතිය පුද කරනවා”

එම ලෝක ටෙස්ට් ශූරතාවයන්ගේ අවසන් තරග පැවැත්වෙන දිනයන් තවමත් තීරණය කර නොමැති අතර තරග පැවැත්වෙන ආකාරයන් සලකා එම දිනයන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<