ICC තරග නීතිරීති වල වෙනසක්

ICC Playing Conditions T20 World Cup 2022

1460

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක Sourav Gangulyගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රිකට් කමිටුව MCC 2017 ක්‍රිකට් නීති සංග්‍රහයේ 3 වැනි සංස්කරණය සඳහා නිර්දේශ රාශියක් ඉදිරිපත් කර තිබෙනවා. කාන්තා ක්‍රිකට් කමිටුව ද එම නව නිර්දේශ අනුමත කරන ලදි.

මෙම නව නීතිරීති 2022 ඔක්තෝබර් පළමු වැනිදා සිට බලාත්මක වන අතර ඒ අනුව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී මෙම නීති යොදා ගැනෙනු ඇත.

අදාළ නිර්දේශ පහතින්,

උඩපන්දුවකින් දැවී ගිය පසු මීළඟ පිතිකරුවාගේ පැමිණීම: දැවී යාමට පෙර පිතිකරුවන් අන්ත මාරු කර සිටියේ ද යන්න නොසලකා හරිමින් පිතිකරුවෙක් උඩපන්දුවකින් දැවී ගිය පසු පැමිණෙන නව පිතිකරුවා පිතිකරණ අන්තයට පැමිණිය යුතුය.

මීට පෙර පැවති නීතිය අනුව උඩපන්දුවකින් ලබා ගැනීමට පෙර පිතිකරුවන් දිවීමෙන් අන්ත මාරු කර තිබුණේ නම් නව පිතිකරුවා පන්දු යවන්නාගේ අන්තයට යා යුතුව තිබුණි.

පන්දුව ඔප දැමීමට ඛේටය භාවිතා කිරීම: COVID-19 ව්‍යාප්තියත් සමග වසර 2ක් පුරා මෙම තහනම දියත්ව තිබුණු අතර එය ස්ථීර තහනමක් ලෙස භාවිතා කිරීම සුදුසු බවට නිර්දේශ කර තිබෙනවා.

COVID-19 ව්‍යාප්තියත් සමඟ ක්‍රීඩකයන්ට ක්‍රීඩාංගණය තුල දී රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට 2020 ජූලි මාසය විරාමයකින් පසු ජාත්‍යන්තර ක්‍රිකට් නැවත ආරම්භ වූ විට මෙලෙස ඛේටය මගින් පන්දුව ඔප දැමීම තහනම් කර තිබුණා. ඒ සමයේ දී දහඩිය මගින් පන්දුව ඔප දැමීම වඩාත් ඵලදායී බව ඔප්පු වූ නිසා මෙම තහනම ස්ථීර කර තිබෙනවා.

නව පිතිකරුවන් පහර දීමට සූදානම් වීම: එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තුල දී නවක පිතිකරුවෙක් පිටියට පැමිණි විට ඔහු මිනිත්තු 2ක් ඇතුළත පන්දුවට පහර දීමට සූදානම් විය යුතු අතර විස්සයි විස්ස තරග සඳහා පැවති තත්පර 90ක කාලය නොවෙනස්ව පවතී.

මින් පෙර පිතිකරුවන්ට සූදානම් වීමට මිනිත්තු 3ක කාලයක් ලබා දුන් අතර දැන් එම සීමාව අඩු වූ නිසා පන්දු රකින කණ්ඩායමේ නායකයාට කල් ගත වීම පිළිබඳව ඉල්ලීමක් කළ හැකි.

පිතිකරුවා පන්දුවට පහර දෙන සීමාව: නව නීති අනුව පන්දුවට පහර දෙන විට පිත්තේ හෝ ශරීරයේ මොනයම් හෝ කොටසක් තණතීරුව තුල තිබිය යුතු අතර එසේ නොවුනහොත් එම පන්දුව අවලංගු පන්දුවක් ලෙසට විනිසුරුවරයාට තීරණය කළ හැක. පිතිකරුවාට පහර දීමට අනිවාර්යයෙන්ම තණතීරුවෙන් පිටතට යා යුතු පන්දු නිපන්දු ලෙස සටහන් කෙරේ.

පන්දු රකින්නන්ගේ අසාධාරණ චලනයන්: පන්දු යවන්නා පන්දු යැවීම සඳහා දිව එන විට පන්දු රකින්නන්ගේ ස්ථාන වල අසාධාරණ ආකාරයේ වෙනසක් සිදු වුවහොත් පන්දුව අවලංගු කිරීමට අමතරව විනිසුරුවරයාට පිතිකරණ පිලට දඬුවම් ලකුණු 5ක් ලබා දිය හැකිය.

පිතිකරණයේ නොදෙන පිතිකරුවා දුවද්දී දැවී යෑම: පන්දු රකින අන්තයේ සිටින පිතිකරුවා පන්දුව යොමු කිරීමට පෙර දිවීමට උත්සහ කරන අවස්ථාවක දවා ගැනීම මින් පෙර “අසාධාරණ ක්‍රීඩා කිරීම” යටතේ තිබුණු අතර නව නිර්දේශ අනුව එය “දුවද්දී දැවී යෑම” යටතට ගෙන ඇත.

මින් පෙර පන්දු යවන අන්තයේ පිතිකරුවා සීමා ඉරෙන් ඉදිරියට යාම අසාධාරණ ක්‍රීඩා විලාශයන්ට අයත් වුවද මින් පසු එය නීත්‍යානුකූල දුවද්දී දැවී යාමක් වේ.

පන්දු යැවීමට පෙර පන්දු යවන්නා විසින් පන්දුව විසි කිරීම: මීට පෙර පන්දු යවන්නා පන්දුව යොමු කිරීමට පැමිණෙන විට පිතිකරුවා සීමා ඉරෙන් ඉදිරියට එන බව පෙනෙන්නේ නම් පන්දු යවන්නාට පන්දුව පිතිකරණ අන්තයේ කඩුල්ලට විසි කරන දුවද්දී දැවී යාමකට හසු කරගැනීමට හැකි වුවද නව නිර්දේශ අනුව එම ක්‍රියාව අවලංගු පන්දුවක් බවට පත් කර ඇත.

අනෙකුත් මූලික වෙනස්වීම්: 2022 ජනවාරි මස සිට බලාත්මක වූ විස්සයි විස්ස තරග තුල ලබා දුන් දඬුවම (පන්දු රකින කණ්ඩායමට නියමිත කාලයට පෙර අදාළ පන්දු වාර සංඛ්‍යාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවොත් ඉනිමේ ඉතිරි පන්දු වාරවල දී යාර 30 සීමාව තුල අමතරව තවත් එක පන්දු රකින්නෙක් රැඳවිය යුතුය) එක්දින තරග සඳහා ද ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර ඇත. ඒ 2023 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන සුපර් ලීගයෙන් අනතුරුවයි.

මේ වන විටත් මෙම නීතිය තරගවල සමස්ත තීරණයට ඍජුවම බලපා ඇති අවස්ථා ඇති අතර ආසියානු කුසලානයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර මූලික වටයේ තරගය එයට නිදසුනකි.

මෙම නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් සියලුම ICC කමිටු සාමාජිකයන්ට Ganguly විසින් ස්තුතිය පුද කරනු ලැබුවා.

මගේ පළමු ICC ක්‍රිකට් කමිටු රැස්වීමේ ප්‍රධානත්වය ලැබීම මට ලැබුණු ගෞරවයක්. මූලික නිර්දේශ කිරීම් සඳහා සහය දක්වූ කමිටු සාමාජිකයන්ගේ ඵලදායී දායකත්වය පිළිබඳව මම සතුටු වෙනවා. ඔවුන්ගේ වටිනා අදහස් සහ යෝජනාවලට මම ස්තුතිවන්ත වෙනවා,”  වෙනුවෙන් Sourav Ganguly පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<