ලෝකයේ හොඳම ක්‍රීඩිකාවන් එක් වෙන T20 තරගාවලියට පෙර

නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

630

විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරග ඉතිහාසයේ ඉහළින් ම ශ්‍රේණිගත ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ගෙන් ම සමන්විත වූ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 08 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

තරග කාලසටහන

  • පළමු විස්සයි විස්ස තරගය – ජූලි 08 වැනිදා කොළඹ Sara Oval පිටියේ දී.
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 10 වැනිදා කොළඹ Sara Oval පිටියේ දී.
  • තෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 12 වැනිදා කොළඹ Sara Oval පිටියේ දී.

නවසීලන්ත ක්‍රීඩිකාවෝ විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ආරම්භක වසර ද්විත්වය වූ 2009 සහ 2010 වසරවල අනුශූරතාවන් දිනා ගැනීමේ අභිමානයත් සමඟින් මෙන් ම මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයට පත් ව සිටිමිනුයි මෙම තරගාවලිය හා එක් වෙන්නේ.

ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක පිටියේ මේ වෙද්දී රැඳී සිටින්නේ 8 වැනි ස්ථානයේයි.

නවසීලන්තය මේ දක්වා විස්සයි විස්ස තරග 154ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 89ක් ජයග්‍රහණය කර තිබෙනවා. තරග 60ක් පරාජය වී ඇති අතර ලකුණු සම වීමෙන් අවසන් වූ තරග 3ක් සහ නොවිසඳුණ තරග 2ක් ද ඒ අතර වෙනවා.

ශ්‍රී ලංකාව මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ විස්සයි විස්ස තරග 128ක්. ඉන් තරග 38ක් ජයග්‍රහණය කරද්දී තරග 86ක් පරාජය වී තිබෙනවා. නොවිසඳුණ තරග ප්‍රමාණය 4ක්.

දෙරට ක්‍රීඩිකාවෝ මේ දක්වා විස්සයි විස්ස තරග 10ක දී එකිනෙකා හමු වී ඇති අතර ඉන් සෑම තරගයක් ම ජයග්‍රහණය කර තිබෙන්නේ නවසීලන්තයයි.

මේ අනුව බලද්දී ශ්‍රී ලංකාවට තරමක් හෝ වාසි සහගත සිතිවිල්ලක් වන්නේ මෙම තරගාවලියට පෙර නවසීලන්තය සමඟ පැවති එක්දින තරගාවලිය 2-1ක් සේ ජයග්‍රහණය කිරීමයි.

දෙරට ක්‍රීඩිකාවෝ අවසන් වරට හමු වෙන්නේ 2023 වසරේ පෙබරවාරියේ දී ICC කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දීයි. එහි දී නවසීලන්ත ක්‍රීඩිකාවෝ ලකුණු 102ක පහසු ජයග්‍රහණයක් හිමි කර ගන්නවා. නවසීලන්ත ක්‍රීඩිකාවෝ විස්සයි විස්ස තරගයක් සඳහා සහභාගී වෙන්නේ එම තරගයෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාව අවසන් වරට මුහුණ දුන් විස්සයි විස්ස තරග ද්විත්වයේ දී ම ජයග්‍රහණය කරනවා. ඒ පසුගිය මාර්තු මාසයේ දී බංග්ලාදේශ ක්‍රීඩිකාවන් මෙරට කළ සංචාරයේ දී 2-1ක් ලෙස ජයග්‍රහණය කරමින්.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ සූදානම

සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු බලාපොරොත්තු රැඳී ඇත්තේ නායිකා චමරි අතපත්තු වෙතයි. ඊට ලෝක එක්දින ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයට පත් වීමත් බලපානවා.

චමරි මෙතෙක් විස්සයි විස්ස තරග 113කට ක්‍රීඩා කරමින් ඉනිම් 111ක දී ශතකයක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 2402ක් ලබා සිටිනවා. ඒ අතරින් ඇයගේ හොඳම ඉනිම බවට පත් වන්නේ 2019 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් සමඟින් ලබා ගත් ලකුණු 113යි.

පන්දු යැවීමේ දී ඇය සතුව කඩුලු 34ක් තිබෙනවා.

චමරි මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම 67 වතාවක් මෙහෙයවා ඇති අතර ඉන් ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යෑමට සමත් ව ඇත්තේ අවස්ථා 23ක දී පමණයි. තරග 43ක් පරාජිත තරග ලෙසත් සහ නොවිසඳුණ තරගයකුත් ඒ අතර තිබෙනවා.

ඇයට අමතර ව පිතිකාරිණියන් ලෙසින් යමක් කරතැයි විශ්වාස කළ හැකි ක්‍රීඩිකාවෝ කිහිප දෙනෙක් ද සිටිනවා. ඒ අතර හර්ෂිතා සමරවික්‍රම ඉදිරියෙන් ම සිටිනවා.

ඇය නිමා වූ බංග්ලාදේශ තරගාවලියේ තරග 2 දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 80ක් ලබා ගන්නවා. ඒ දක්ෂතාත් සමඟින් ඇය විස්සයි විස්ස තරග දිවියේ මේ දක්වා තරග 40කට සහභාගී වෙමින් ලකුණු 752ක් ලබා සිටිනවා.

ඊට අමතර ව මැදිපෙළින් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙන නිලක්ෂි ද සිල්වා ද දක්ෂතා දක්වන පිතිකාරිණියක්. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 67කට සහභාගී වෙමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 795ක් ලබා සිටිනවා.

හසිනි පෙරේරා විස්සයි විස්ස තරග 57ක දී ලකුණු 551ක් ලබා ගනිමින් ද සහ අනුශ්කා සංජීවනී තරග 54ක දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 495ක් ලබා ගනිමින් පිතිකාරිණියන් ලෙසින් දක්ෂතා දක්වමින් මෙම තරගාවලිය හා එක් වෙනවා.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නන් අතුරින් ඕෂදී රණසිංහගේ නම ඉදිරියෙන් ම කියැවේ. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 64කට සහභාගී වෙමින් ලකුණු 367ක් සහ කඩුලු 58ක් ලබා ගනිමින් එම විශ්වාසය තහවුරු කර ගනිමින් සිටී.

පන්දු යවන්නියන් අතරින් ඉනෝකා රණවීර කෙරෙහි තබා ඇත්තේ ඉහළ බලාපොරොත්තුවක්. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 69කට සහභාගී වෙමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 77ක්.

ඊට අමතර ව වමතින් දඟ පන්දු යවන සුගන්ධිකා කුමාරි විස්සයි විස්ස තරග 61ක දී කඩුලු 41ක් ලබා ගනිමින් ද සහ වමතින් වේග පන්දු යවන උදේශිකා ප්‍රබෝධනී කඩුලු 56ක් ලබා ගනිමින් ද කණ්ඩායමේ විශ්වාසය දිනා සිටී.

ඊට අමතර ව යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි ද මෙම තරගාවලියේ යමක් කරතැයි විශ්වාස කළ හැකි ක්‍රීඩිකාවන් ලෙසින් හැඳින්විය හැකි.

නවසීලන්තයට එරෙහිව පළමු විස්සයි විස්ස තරගයේ දී පිටියට පිවිසෙතැයි අනුමාන කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම: චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, අනුෂ්කා සංජීවනී (කඩුලු රකින්නිය), නිලක්ෂි ද සිල්වා, කවිෂා දිල්හාරි, ඕෂදී රණසිංහ, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, හසිනි පෙරේරා/ කාව්‍යා කාවින්දි.

නවසීලන්ත කණ්ඩායමේ සූදානම

මාස 5කට පසුව විස්සයි විස්ස තරගයකට පිවිසෙන නවසීලන්ත ක්‍රීඩිකාවෝ මෙම තරගාවලිය හා එක් වෙන්නේ ආසන්නත ම එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකාව හමුවේ 1-2ක් ලෙසින් පරාජය වෙමින්. එනිසා මෙම තරගයේ දී ඔවුන් වඩාත් සැලසුම් සහගතව පිටියට පිවිසීමට සියලු සැලසුම් සකස් කරනු නියතයි.

ඒ සඳහා ඔවුන්ට විස්සයි විස්ස ලෝක පිටියේ ඉහළ ම දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවෝ කිහිප දෙනෙක්ගෙන් ම සමන්විත වඩාත් තරගකාරී කණ්ඩායමක් ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු විස්සයි විස්ස තරගයේ දී පිටියට පිවිසෙතැයි අනුමාන කෙරෙන නවසීලන්ත කණ්ඩායම: Sophie Devine (නායිකාව), Suzie Bates, Bernadine Bezuidenhout (කඩුලු රකින්නිය), Amelia Kerr, Maddy Green, Georgia Plimmer, Brooke Halliday, Hannah Rowe, Lea Tahuhu, Eden Carson, Fran Jonas,

අවධානය ලක් කළ යුතු නවසීලන්ත ක්‍රීඩිකාවෝ

Sophie Devine

තුන්  ඉරියව්වෙන් දක්ෂතා දක්වන 33 හැවිරිදි වියේ පසුවෙන Sophie Devine මේ දක්වා විස්සයි විස්ස තරග 119ක දී ශතකයක් සහ අර්ධ ශතක 17ක් සමඟින් ලකුණු 2969ක් ලබා සිටිනවා. එය ලෝක විස්සයි විස්ස පිටියේ පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ දී 5 වැනි තැනට පත් දක්ෂතාවයි.

දකුණතින් මද වේගපන්දු යවන්නියක් ලෙසින් ද දක්ෂතා දක්වන ඇය මෙතෙක් කඩුලු 110ක් ලබා සිටිනවා. එය නවසීලන්ත පන්දු යවන්නියක් විස්සයි විස්ස පිටියේ ලබා ඇති වැඩිම කඩුලු සංඛ්‍යාව වන අතර ලෝක ශ්‍රේණිගත කිරීමේ දී 7 වැනියට පත් දක්ෂතාවයි.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග 10 දී ම පිටියට පිවිස ඇති ඇය ලකුණු 206ක් සහ කඩුලු 6ක් ද ලබා ගෙන තිබෙනවා.

නවසීලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරග 40කට නායකත්වය දී තිබෙන Sophie Devine ඉන් ජයග්‍රාහී තරග 21ක්, පරාජිත තරග 17ක්, ලකුණු සමවීමෙන් අවසන් වූ තරගයක් සහ නොවිසඳුණ තරගයක් ලෙසින් තරග අවසන් කර තිබෙනවා.

Suzie Bates

කණ්ඩායම හා එක්වෙන වඩාත් විශ්වසනීය තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙසිනුයි Suzie Bates හැඳින්වෙන්නේ. ඇය මේ වන විට ලෝක විස්සයි විස්ස තරග ඉතිහාසයේ පිතිකාරිණියක් විසින් ලබා සිටින ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින් එම ලැයිස්තුවේ පළමුවැනියා වී සිටිනවා.

ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 143කට මුහුණ දෙමින් දකුණු අප්‍රිකාවට එරෙහිව ලබා ගත් ශතකයක් සමඟින් ලකුණු 3820ක් ලබා සිටිනවා.

පිතිකාරිණියක් ලෙසින් දක්ෂතා දක්වනවාට අමතර ව දකුණතින් මද වේගපන්දු යවමින් ද දක්ෂතා දක්වන ඇය මේ වෙද්දී කඩුලු 55ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග 10 දී ම ප්‍රතිවාදිණියක් වූ ඇය ඉන් ඉනිම් 9ක දී පිටියට පිවිසෙමින් ලකුණු 356ක් ලබා ගන්නා අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 5ක්.

නවසීලන්ත විස්සයි විස්ස කණ්ඩායමට අවස්ථා 64ක දී නායකත්වය දී ඇති ඇය ඉන් තරග 39ක් ජය ගැනීමට සමත් වෙනවා. ඉතිරි තරග අතුරින් පරාජිත තරග 24ක්, ලකුණු සමවීමෙන් අවසන් වූ තරගයක් ලෙසින් පෙළ ගැස්වෙනවා.

Maddy Green

30 හැවිරිදි වියේ පසුවෙන මැද පිතිකාරිණියක ලෙසින් දක්ෂතා දක්වන Maddy Green මේ දක්වා විස්සයි විස්ස තරග 78ක දී ලකුණු 801ක් ලබා සිටිනවා. අවශ්‍ය අවස්ථාවක පන්දු යැවීමේ ද දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක් ලෙසිනුත් ඇය හැඳින්වෙන්නේ.

Amelie Kerr

22 හැවිරිදි වියේ පසුවෙන මෙම තුන් ඉරියව් ක්‍රීඩිකාව, මේ දක්වා විස්සයි විස්ස පිටියේ තරග 59ක ඉනිම් 41කට සහභාගී වෙමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 657ක් සහ කඩුලු 58ක් ලබා සිටිනවා.

Leigh Kasperek

31 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟපන්දු යවන Leigh Kasperek නවසීලන්ත කණ්ඩායම හා එක් වෙන්නේ වසර ද්විත්වයකට පසුවයි. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 46කට ක්‍රීඩා කරමින් කඩුලු 75ක් ලබා සිටින ක්‍රීඩිකාවක්.

Lea Tahuhu

32 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මද වේගපන්දු යවන ඇය විස්සයි විස්ස තරග 75ක දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 72ක්. ඉන් කඩුලු 7ක් ශ්‍රී ලංකාවට එරෙහිව දවා ගන්නා ලද අතර ඒ සඳහා සහභාගී වී ඇති තරග සංඛ්‍යාව 6ක්.

Eden Carson

 21 වැනි වියේ පසුවෙන Eden Carson නවසීලන්ත කණ්ඩායම හා එක් වෙන්නේ දකුණතින් පිට දඟ පන්දු යවන්නියක් ලෙසයි. විස්සයි විස්ස තරග පිටියේ කෝඩුකාරිණියක් වන ඇය කෙරෙහි කණ්ඩායම තබා තිබෙන්නේ ප්‍රමුඛ විශ්වාසයක්.

Hannah Rowe

26 වැනි වියේ පසුවෙන දකුණතින් මද වේගපන්දු යවන Hannah Rowe මේ දක්වා විස්සයි විස්ස තරග 35ක දී කඩුලු 18ක් ලබා ඇති ක්‍රීඩිකාවක්. යටි පෙළින් පන්දුවට පහර දෙන්නට පිවිසෙන ඇය තරමක් විශ්වාසවන්ත පිතිකාරිණියක් ලෙසින් ද හැඳින්විය හැකියි.

ශ්‍රී ලංකාව – නවසීලන්ත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<