අරුණ, ඩිල්ෂි, සුගන්ධි සහ හෂිනි බරටම රන් දිනයි

266

නේපාලයේ කත්මණ්ඩු අගනුවර දසරත් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් හි තෙවැනි දිනය අතිසාර්ථකව අද (05) නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4ක්, රිදි පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 3ක් තිළිණ කරමින්. 

SAG2019 – විදූෂාට ආඩම්බරයක් වෙමින් සාරංගී රන් පදක්කමට

නේපාලයේ කත්මණ්ඩු අගනුවර දසරත් ක්‍රීඩාංගණය උණුසුම් …….

ශ්‍රී ලංකා රන් පදක්කම් වැස්ස ආරම්භ කරමින් ලක්ෂිකා සුගන්ධි මීටර් 100 කඩුලු මතින් දිවීම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනේ තත්පර 13.68 කාලයක් සමඟිනි. මේ ඇය තරගාවලියේ දී ජයග්‍රහණය කළ දෙවැනි පදක්කමයි. මින් පෙර ඇය මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

ඇය සමඟින් ඉසව්වට සහභාගී වූ ඉරේෂානි රාජසිංහ ලෝකඩ පදක්කම දිනා ගත්තේ තත්පර 14.18 කාලයක් වාර්තා කරමින් ඉසව්වේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට දිනා දෙමිනි. ඉසව්ව ආරම්භයේ ඇය වැරදි ආරම්භයක් ලබා ගත්තා යැයි සිතා තරමක් මන්දගාමී වූවද ලෝකඩ පදක්කමකින් ඉසව්ව අවසන් කිරීම සැබැවින්ම පැසසුම් සහගතය.

ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගනු ලැබුවේ ඉන්දීය ක්‍රීඩිකාවක් වන අපර්ණා රෝයි විසිනි. ඇගේ දක්ෂතාවය දැක්වුනේ තත්පර 14.13.

සුගන්ධි (වම) සහ ඉරේෂා (දකුණ) සතුට සමරමින්.

දිනයේ දෙවැනි රන් පදක්කම වාර්තා වන්නේ මීටර් 400 පිරිමි ඉසව්වෙනි. ඒ සඳහා සහභාගී වූ අරුණ දර්ශන සියලු ක්‍රීඩකයින්ට අභියෝගයක් වෙමින් රන් පදක්කම ජයග්‍රහණය කළේ තත්පර 46.69කින් ඉසව්ව අවසන් කරමිනි. 

ඔහු සමඟින් ඉසව්වට සහභාගී වූ ලක්මාල් ප්‍රියන්ත තත්පර 46.79කින් ඉසව්ව අවසන් කළේ රිදි පදක්කම ජයග්‍රහණය කරමින් එම ඉසව්වේ ද වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට දිනා දෙමිනි. 

ලක්මාල් (වම) සහ අරුණ (දකුණ) ඉසව් අවසන් කිරීමෙන් පසු

මීටර් 400 කාන්තා ඉසව්වෙන් ද රන් පදක්කමක් ජයග්‍රහණය කරන්නට ඩිල්ෂි කුමාරසිංහ සමත් වුනේ තත්පර 53.40ක කාලයක් වාර්තා කරමින් ඇගේ හොඳම පෞද්ගලික කාලය ද අලුත් කරමිනි. ඇය සමඟ තරග කළ කෞෂල්‍යා මධුෂානි සිව්වැන්නා ලෙස ඉසව්ව අවසන් කළාය.

ආරම්භයේ දී ඩිල්ෂි මෙම ඉසව්ව සඳහා ඇතුළත් කර නොතිබූ අතර පසුගිය දා උණ රෝගයක් වැලඳීම නිසාවෙන් කත්මණ්ඩු නුවර රෝහලකට ඇතුළත් කළ මීටර් 200, මීටර් 400 සහ මීටර් 400×4 ඉසව්වේ හි රන් පදක්කම් බලාපොරොත්තුවක් වූ නදීෂා රාමනායක වෙනුවට ඇය මෙම ඉසව්ව සඳහා ඇතුළත් කෙරුණි. 

SAG2019 – ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු කිහිපයක් රෝහල්ගත කෙරේ

මීටර් 200, මීටර් 400 සහ මීටර් 400×4 යන ඉසව් නියෝජනය කරමින්……..

ඒ අනුව තරගාවලියේ මෙලෙස ආදේශ කළ ක්‍රීඩිකාවන් තිදෙනාම රන් පදක්කම් ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි. 

2018 වසරේ නිමාවට පත්වූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී මීටර් 400 ඉසව්ව නියෝජන කරමින් වාර්තාවක් සමඟින් රන් පදක්කම් දිනා ගන්නට අරුණ සහ ඩිල්ෂි සමත් වුනේ කනිෂ්ඨ වයස් කාණ්ඩයේ සිටම ඉසව්ව ප්‍රගුණ කරමිනි.

ඩිල්ෂි කුමාරසිංහ ජාතික ධජය සමඟින්.

දිනයේ අවසන් රන් පදක්කම වාර්තා වුනේ තුන් පිම්ම ඉසව්වෙනි. හෂිනි ප්‍රබෝධා බාලසූරිය එහි දී මීටර් 13.29ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.

නිසි සෞඛ්‍ය තත්වයක පසු නොවීම නිසාවෙන් දුර පැනීම ඉසව්වෙන් විවේක ගන්වා තිබූ විදූෂා ලක්ෂානි ඇගේ ප්‍රධාන ඉසව්ව වන තුන් පිම්ම සඳහා සහභාගී වූ අතර එහි දී ඇය විසින් ජයග්‍රහණය කරනු ලැබුවේ රිදි පදක්කමයි.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළ ඇය මෙම තරගාවලිය සඳහා සහභාගී වූයේ අසනීප තත්වයකින් සුවය ලබමින් සිටි මොහොතකයි.

Figure 1තුන් පිම්ම රන් පදක්කම් ලාභි හෂිනි ප්‍රබෝධා

දිනය ආරම්භ කරමින් පැවති මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්වේ දී රොෂාන් ධම්මික විසින් ලෝකඩ පදක්කම ජය ගන්නට සමත් වුනේ තත්පර 14.42ක කාලයක් වාර්තා කරමින්. 

මෙම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ පාකිස්තාන ජාතික ක්‍රීඩකයෙකු වන මොහොමඩ් නයීම් විසිනි. ඔහු වාර්තා කළ කාලය තත්පර 14.30කි. ඉන්දීය ක්‍රීඩකයෙකු වන සුරෙන්ධර් ජයක් තත්පර 14.37ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ රිදි පදක්කම දිනා ගනු ලැබීය.

තුන් පිම්ම ඉසව්වේ වත්මන් ශූරයා වන ග්‍රේෂන් ධනංජය අද ක්‍රීඩා පිටියට පිවිසියත් ඉසව්වේ පදක්කමක් දිනා ගන්නට ඔහු සමත් වූයේ නැත. කෙසේ නමුත් ඔහු සමඟින් එම ඉසව්ව සඳහා සහභාගී වූ සෆ්රින් අහමඩ් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරන්නට සමත් විය. 

>> අද දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එහි දී ඔහු විසින් වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 15.95කි. ඉසව්වේ ප්‍රථම ස්ථානය ඉන්දීය ක්‍රීඩකයෙකු වන කාර්තික් උන්නික්‍රි විසින් දිනා ගත්තේ මීටර් 16.47ක දුරක් වාර්තා කරමිනි. මීටර් 16.16ක දුරක් තරණය කළ ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් සලාහු විසින් රිදි පදක්කම ජයග්‍රහණය කළේය.

අද දිනයේ පැවති ඉසව් 6න්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කුමන හෝ පදක්කමක් ජයග්‍රහණය කිරීම මලල ක්‍රීඩාවේ අනාගතය ගැන ඉතා හොඳ පෙර නිමිත්තකි.

තෙවැනි දිනය නිමා වන විට මලල ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනාගෙන ඇති සමස්ත පදක්කම් ගණන 20ක් වන අතර ඊට රන් පදක්කම් 6ක්, රිදි පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 6ක් ඇතුළත්.

තරගාවලියේ මලල ක්‍රීඩා තරග හෙටත් (06) පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලුම පුවත්, තරග වාර්තා, ඡායාරූප, වීඩියෝ සහ තවත් දෑ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<