ප්රබල බංග්ලාදේශ ක්රීඩකයෙකුගේ T20 ඉරණම නුදුරේදීම විසඳෙන ලකුණු!

2746

අන්තර්ජාතික විස්සයි විස්ස තරග බිමේ තම අනාගතය පිළිබඳව පැහැදිලි ඉඟියක් ලබා දෙමින් ක්‍රිකට් ක්‍රීඩාවේ තම ඉදිරි ගමන සම්බන්ධයෙන් වැදගත් ප්‍රකාශ කිහිපයක් සිදු කිරීමට බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු Tamim Iqbal කටයුතුකොට තිබෙනවා.

වසර ගණනක් මුළුල්ලේ බංග්ලාදේශ සීමිත පන්දුවාර කණ්ඩායම නිත්‍ය ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පණ පොවන Tamim, පසුගිය මාස හයක කාලය තුල T20 තරගවලින් සම්පූර්ණයෙන්ම විවේක ගැනීමට තීරණය කිරීමත් සමඟ මේ වන විට කණ්ඩායමේ ඔහුට හිමි ස්ථානය සම්බන්ධයෙන් යම් ප්‍රශ්නාර්ථයක් ඉස්මතු වී තිබෙනවා.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ අග භාගයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර එම තරගාවලියට පෙරාතුව නැවතත් බංග්ලාදේශ T20 කණ්ඩායම සමඟ එක්වීමේ අදහසක් ඇත් දැයි මාධ්‍යවේදීන් නැඟූ පැනයට පිළිතුරු ලබා දෙමින් Tamim පවසා සිටියේ, තමන් නිල වශයෙන් ලබාගත් විවේක කාලසීමාව තව නොබෝ දිනකින් අවසන් වීමට නියමිත බැවින් තමන්ගේ ස්ථාවරය ඉන් පසුව පැහැදිලි කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ නමුත් Tamim ජුනි 5 වැනිදා පැවති මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළ ඇතැම් කාරණා සම්බන්ධයෙන් මේ වන විට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ඔහු සමඟ යම් මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී ඇති බව එරට මාධ්‍ය හුවා දැක්වීමට උත්සාහ දරමින් සිටින බවට Tamim ඊයේ දිනයේ දී සිය Facebook ගිණුමේ සටහනක් එක් කරමින් සඳහන්කොට තිබෙනවා.

මට පේනවා ගොඩක් දෙනෙක්  විස්සයි විස්ස තරග ආකෘතියේ මගේ ඉරණම විසඳන එක ඒ අයගේ අතට අරගෙන තියෙනවා කියලා. මම දවස් දෙකකට කලින් තිබ්බ සාකච්ඡාවේ දී ඉස්මතු කරන්න උත්සාහ කළෙත් ඔය කාරණය ගැන. මගේ මතය ගැන මම කියන්නේ නැතුව ඒක ගැන එක එක අය තමන්ට ඕන අර්ථකථන දෙන එක සාධාරණීකරණය කරන්න බැහැ.”

මම කොහෙවත් සඳහන් කරලා නැහැ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මාත් එක්ක මේ ගැන සාකච්ඡා කළේ නැහැ කියලා. මම අවස්ථා කිහිපයක දී ම මගේ ක්‍රිකට් අනාගතය ගැන විශේෂයෙන්ම T20 තරග ආකෘතිය ගැන ඔවුන් එක්ක කතා කළා. ඒක නිසා පාර්ශව දෙක අතරේ සන්නිවේදන ගැටලු තියෙනවා කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ.”

මම මාස හයක් අන්තර්ජාතික තරග බිමෙන් විවේක ගත්තේ BCBය එක්ක සාකච්ඡා කරලා. ඔවුනුත් ඒ තීරණයට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වුවා. මගේ ක්‍රිකට් ජීවිතයේ ඉදිරි ගමන ගැන මමවත් දන්නෙ නැති දේවල් වෙන අය දන්නවා. ඒක නිසා මට කියන්නත් ලොකු දේවල් ඉතිරි වෙලා නැහැ. මාධ්‍යය මට අවස්ථාව දෙනවා වෙනුවට කරන්නේ වෙන අයගේ කටකතා ප්‍රචාරය කරන එක. ඉතින් මොනාහරි යමක් දැන ගන්න ඕන නම් ඒ අයගෙන්ම අහලා දැනගන්න පුළුවන්.”

මම T20 තරග ගැන දරන ස්ථාවරය ගැන ක්‍රිකට් පාලක මණ්ඩලය ඉතාමත් හොඳින් දන්නවා. මට ඕනෑ කරලා තියෙන්නේ ඒ ගැන හරි වෙලාව ආවම හරි තැන දී කතා කරන්න. මම අනිවාර්‍යෙන්ම මගේ මතය ඉදිරිපත් කරනවා ඉදිරියේ දී. මම මාස හයක් විවේක ගත්තේ. ඒකෙනුත් තව මාසයයි දින කිහිපයක් ඉතුරුයි. මට තේරුම් ගන්න බැරි ඇයි මේ අය මෙච්චර නොඉවසිලිමත්.

CricInfo ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<