දකුණු අප්‍රිකාවේදී ජය සොයන මෙහෙයුම තවදුරටත් අසාර්ථකයි

608
Sri Lanka v South Africa 1st T20 report

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය ලකුණු 19කින් ජය ගන්නට නව මුහුණුවරකින් පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන් සමත් විය. අත්දැකීම් සහිත පිතිකරුවන්ගේ දායකත්වයෙන් ගොඩනැගුනු විශාල ඉලක්කය හඹා යන්නට ශ්‍රී ලංකා නවකයන් දැඩි වෙහෙසක් දැරුවද එය සාර්ථක කරගන්නට දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ගෙන් ඉඩ ලැබුනේ නැත.

තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ පළමු තරගය වූ මේ තරග ආරම්භයට පැය දෙක හමාරක පමණ ප්‍රමාදයක් සිදුවුනේ සෙන්චූරියන් හී සුපර් ස්පෝට්ස් පාක් ක්‍රීඩාංගණයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙනි. අවසානයේ එක් කණ්ඩායමකට පන්දුවාර 10 බැගින් සීමා කරමින් ආරම්භ කෙරුණු තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කලේ පළමුවෙන් පන්දු යැවීමටයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම නවක ක්‍රීඩකයන් 5 දෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කරලියේ දොරගුළු විවර කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තික්ෂිල ද සිල්වා තම මංගල පන්දු වාර 20 තරගයට සහභාගී වීමේ වරම් උදා කරගෙන තිබුණි.

දකුණු අප්‍රිකානුවන් පළමු පන්දුවේ සිටම අනුගමනය කලේ දැඩි ආක්‍රමණශීලී පිතිකරණ රටාවක්. ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දුවේ ඉලක්කය සොයා ගත නොහැකිව කෙටි පන්දු රැසක් යොමු කරද්දී ඉන් උපරිම ප්‍රයෝජන ගත් ආරම්භක සහ අංක 3 පිතිකරුවන් පළමු පන්දුවාර 5 අවසන් වීමට මත්තෙන් ලකුණු පුවරුව ලකුණු 50 සීමාව ඉක්මවා ඉහල දමන්නට සමත් විය. ජොන් ජොන් ස්මට්ස්, හීනෝ කූන් සහ තෙයුනීස් ඩි බ්‍රයින් අතර ලකුණු 42ක අයිතිය බෙදී ගිය අතර ඔවුන් තිදෙනාම 150කට වැඩි ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගන්නට සමත් විය.

විශ්ව චතුරංගගේ සුපිරි පිතිකරණය නිසා ශ්‍රී ලංකාවට තවත් ජයක්

මේ දිනවලදී දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යන යොවුන් කණ්ඩායම් සහභාගි වන තුන්කොන් එක්දින තරගාවලියේ පස්වන තරගය අද (20) බෝලන්ඩ් පාක් හිදී ක්‍රියාත්මක විය.

ලක්මාල්, කුලසේකර සහ ප්‍රසන්න ඔවුන් තිදෙනා ක්‍රීඩා ගාරයට හරවා යැවීමෙන් පසු පිටියේ එක් වුනේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ අතලොස්සක් ප්‍රවීණ ක්‍රීඩකයන් අතුරින් දේපලක් වූ නායක ෆර්හාන් බෙහර්දීන් සහ ඩේවිඩ් මිලර් යුගලයයි. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට අත දිග හැර පහර දෙමින් පන්දු 23ක් තුල ලකුණු 51ක විශිෂ්ට සබඳතාවක් ගොඩනගන්නට සමත් විය. මිලර් පන්දු 18කින් ලකුණු 40ක් ලබා ගත්තේ හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමගින්. බෙහර්දීන් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග පන්දු 18කින් ලකුණු 31ක් රැස් කරන ලදී.

මේ අනුව නියමිත පන්දුවාර 10 අවසානයේ දකුණු අප්‍රිකා ලකුණු පුවරුව සටහන් වුනේ කඩුලු 5කට ලකුණු 126ක් ලෙසයි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් සාර්ථක වූ එකම ක්‍රීඩකයා බවට පත් වුනේ අසේල ගුණරත්නයි. ඔහු තම පන්දු වාර 2 තුල ලකුණු 12ක් පමණක් ලබා දුන් අතර අනෙක් කිසිදු පන්දු යවන්නෙකුට එක් පන්දු වාරයක දල ලකුණු වේගය හෝ 12ට අඩුවෙන් පවත්වා ගැනීමට හැකි වුයේ නැත.

ලකුණු 127ක දැවැන්ත ඉලක්කයක් වුවද සපුරා ගත හැකි බවට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් තුල බලාපොරොත්තු දල්වන්නට ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල සමත් විය. ඒ පළමු කඩුල්ල සඳහා පන්දු 31කින් ලකුණු 59ක අති උසස් ගණයේ ආරම්භක සබඳතාවක් ගොඩනගමින්. කණ්ඩායමට පීඩනයක් යොමුවූ අවස්ථාවක පිතිකරණයේ යෙදෙන ආකාරය පිලිබඳ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන්ට පාඩමක් ඉගැන්වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 19ක් තුල ලකුණු 43ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගයි. ධනංජය හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමග වේගවත් ලකුණු 27ක් රැස් කරන ලදී.

ඔවුන් දෙදෙනාම පන්දු 6ක් තුල ඉම්රාන් තහීර්ගේ ගොදුරු බවට පත්වීමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය. සීක්කුගේ ප්‍රසන්න පමණක් පන්දු 3කින් ලකුණු 12ක් රැස් කළද ජ්‍යෙෂ්ට පිතිකරුවන් දෙදෙනාම ලකුණු අතරට පිවිසීමට අපොහොසත් වීමත්, එමනිසා පීඩනයට ලක්වූ අනෙක් පිතිකරුවන්ද විශාල පහර එල්ල කිරීමට උත්සාහ දරමින් දැවීයාමත් හේතුවෙන් නියමිත පන්දුවාර 10 අවසානයේ ශ්‍රී ලංකා ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 107කට සීමා විය.

තම මංගල තරගයට ක්‍රීඩා කල තීක්ෂිල ද සිල්වා ඔහු මුහුණදුන් පළමු පන්දුවටම විශාල පහරක් එල්ල කරමින් ඩීප් මිඩ්විකට් කලාපයට උඩපන්දුවක් ලබා දුන් අතර කුසල් මෙන්ඩිස් ද එක් ලකුණකට දැවී ගියේ ඩීප් ස්ක්වෙයාර් ලෙග් කලාපයේදී දකුණු අප්‍රිකානුවන් ප්‍රදර්ස්ධනය කල දර්ශනීය උඩපන්දු රකීමක් හේතුවෙනුයි.

අනෙක් පිතිකරුවන් පන්දුවාර 7යි පන්දු 5කදී ලකුණු 95ක් ලබා ගන්නට සමත් වුවද, නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් පන්දුවාර 2යි එක් පන්දුවක් තුල ලබා ගත්තේ ලකුණු 12ක් පමණයි. එය ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වූ අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වයිඩ් පන්දු 5ක් සහ නිපන්දුවක් සමග වැඩිපුර පන්දු වාරයක්ම යවා තිබුනද දකුණු අප්‍රිකා පන්දු යවන්නන් කිසිදු අතිරේක පන්දුවක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා නොදීම ද කැපී පෙනුනි.

සිය මංගල පන්දුවාර 20 තරගයේ ක්‍රියාත්මක කල පන්දුවාර දෙක තුල ලකුණු 12ක් පමණක් ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 2ක් දවාගත් ලුංගී එන්ගීඩි තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගන්නා ලදී. මේ අනුව තරග 3කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය තරග 1 – 0 ක් ලෙස පෙරමුණ ගන්නට දකුණු අප්‍රිකාව සමත් විය.

ලකුණු පුවරුව

දකුණු අප්‍රිකාව – 126/6 (10) : ඩේවිඩ් මිලර් – 40, ෆර්හාන් බෙහර්දීන් – 31*, තෙයුනීස් ඩි බ්‍රයින් – 19, නුවන් කුලසේකර – 2/27

ශ්‍රී ලංකාව – 107/6 (10) – නිරෝෂන් දික්වැල්ල – 43, ධනංජය ද සිල්වා – 27, සීක්කුගේ ප්‍රසන්න – 12, ලුංගී එන්ගීඩි – 2/12, ඉම්රාන් තහීර් – 2/23

දකුණු අප්‍රිකාවට ලකුණු 19ක ජයක්.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට