Abbott සහ Handscomb ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවතට

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

1972

පුහුණුවීම් අතරතුර සිදු වූ ආබාධයක් නිසාවෙන් ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Sean Abbott හට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඔහුට අමතරව ඕස්ට්‍රේලියානු A කණ්ඩායම සමඟ මෙරටට පැමිණි කඩුලු රකින ක්‍රීඩක Peter Handscomb ද සිය බිරිඳගේ දරු ප්‍රසූතිය නිසාවෙන් නැවතත් සිය මව් රට වලා පිටත්ව ගොස් තිබෙනවා.

එමෙන්ම ඊයේ (07) පැවති පළමු විස්සයි විස්ස තරගයේදී  ඇතිවූ ආබාධයක් නිසාවෙන් වේගපන්දු යවන ක්‍රීඩක Michael Starc හට අද (08) පැවැත්වෙන තරගය අහිමි වන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් තහවුරු කර තිබුණා.

Abbott ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස සංචිතය සඳහා නම් කර තිබූ අතර එම තරගාවලියෙන් අනතුරුව ඔහු ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ එක්දින තරගාවලියට එක්වීමට නියමිතව තිබුණා.

නමුත් ඔහු පුහුණුවීම් සිදු කරන අතරවාරයේ පන්දුවක් අතෙහි වැදීම නිසාවෙන් සිදු වූ ආබාධයක් නිසාවෙන් ඔහුට සමස්ත තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඕස්ට්‍රේලියානු A කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට එක්වීමට මෙරටට පැමිණි Handscomb සිය පළමු දරුවාගේ උපත වෙනුවෙන් නැවත ඕස්ට්‍රේලියාවට පිටත් වීම නිසා ඔහුට ද සමස්ත තරගාවලියම අහිමිව ඇත.

Abbottගේ ආදේශකයා ලෙස Scott Boland නම් කර ඇති අතර ඔහු ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ සිව්දින තරග ආරම්භයට පෙර මෙරටට පැමිණීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු A කණ්ඩායම වෙනුවෙන් Handscomb වෙනුවට කඩුලු රකින ක්‍රීඩක Jimmy Peirson ඇතුළත් කර ඇත.

A සංචිතයට ඇතුළත් කඩුලු රකින ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියානු එක්දින සංචිතයට ඇතුළත් නිසාවෙන් ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ සිව්දින තරග සඳහා Peirson නිත්‍ය කඩුලු රකින්නා ලෙස කටයුතු කිරීමට වැඩි ඉඩක් තිබෙනවා.

ඕස්ට්‍රේලියානු A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර අද (08) පැවැත්වෙන එක්දින තරගයේ නායකත්වය Alex Carey විසින් දරන අතර ඔහුට අමතරව Cameron Green ද සංචිතයට ඇතුළත්.

ඔවුන් දෙදෙනා මීට පෙර ඕස්ට්‍රේලියානු A කණ්ඩායමට ඇතුළත් නොවුනත් ලබන සතියේ ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියට සූදානම් වීම සඳහා ඔවුන් මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

අද පැවැත්වෙන තරගය සඳහා ඕස්ට්‍රේලියානු A කණ්ඩායම වෙනුවෙන් Todd Murphy, Matthew Kuhnemann සහ Tanveer Sangha යන දඟපන්දු යවන්නන් තිදෙනා ඇතුළත් කිරීම කැපී පෙනුණා.

Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<