පුහුණුවීම් අරඹන විට කෝලි සහ ශර්මා අතරමං වෙන ලකුණු

133
Kohli

ඉන්දියාවේ සිටින ප්‍රබලතම ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන විරාත් කෝලි සහ රෝහිත් ශර්මා ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඉදිරියේ දී සිදු කරනු ලබන පුහුණුවීම් කටයුතු සඳහා සහභාගී කරවා ගැනීම ගැටලුවක් බවට පත්ව ඇති බව වාර්තා වේ.

>> එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පුහුණු කටයුතු ඇරඹේ

කොරෝනා වයිරසය නිසාවෙන් ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක් මේ වන විට මුළුමනින්ම අගුළු දමා තිබෙන අතර එසේ නොමැති ප්‍රදේශවල සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

කෙසේ නමුත් මුම්බායි නගරය මේ වන විට මුළුමනින්ම අගුළු දමා තිබෙන නිසාවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි සහ රෝහිත් ශර්මා ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක් එම පුහුණුවීම් කටයුතු සඳහා සහභාගී කර ගැනීම ගැටලුවක්ව තිබේ.

“කෝලි සහ රෝහිත් වගේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට මේ පුහුණුවීම් කටයුතු සඳහා සහභාගී වෙන්න ලැබෙන එකක් නැහැ. මොකද මුම්බායි නගරය අගුළු දමා තිබෙන්නේ, ඔවුන්ට සිය නිවෙසවලට වෙලා පුහුණුවීම් කටයුතු තනි තනිව කර ගන්න පුළුවන්” යැයි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික අරුන් ධුමාල් මහතා AFP වෙබ් අඩවිය සමඟ පැවති හමුවක දී පවසා ඇත. 

>> ලිට්ල් මාස්ටර් ඉදිරියේ අසරණ වූ ස්පාර්ටන් සන්නාමය

මේ වන විට ඉන්දියාවේ ප්‍රධාන නගරයක් වන මුම්බායි නගරය තුල කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ මරණ 1000ක් පමණ සිදුව ඇති අතර එම ප්‍රදේශය තුලින් තවමත් නව කොරෝනා වයිරස ආසාදිතයින් හමුවීමේ අඩුවක් සිදුව නොමැත. 

“මුම්බායි නගරය ඇතුළු කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය වැඩි ප්‍රදේශ කිහිපයක් දැන් මාස දෙකක වගේ කාලයක් තිස්සේ සම්පූර්ණ ලෙස අගුළු දමා තිබෙන්නේ. නමුත් එහෙම නොමැති ප්‍රදේශවල තිබෙන ක්‍රීඩාංගණවල අපේ ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කරනවා.” 

“ඒ කොහොම වෙතත් කෝලි ඇතුළු ඉන්දීය ක්‍රීඩකයින් රැසක් සිය නිවෙස්වලට වී ආරක්ෂිතව සිටිමින් සිය ශාරීරික යෝග්‍යතාවය ද රැකගනිමින් සිය පුහුණුවීම් වල නිරත වෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා වලට දාලා තිබ්බා කියලා අපි දැක්කා. නව තාක්ෂණය භාවිතා කරමින් අපේ පුහුණුකරුවන් ද online ආකාරයට අපේ ක්‍රීඩකයින් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් ඔවුන්ගේ පුහුණු කටයුතු සොයා බැලුවා” යැයි එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ධුමාල් මහතා පැවසීය.

ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සියලු දේම අකර්මණ්‍ය කළ මෙම කොරෝනා වයිරසය නිසාවෙන් තරගාවලි රැසක් දින නියමයක් නොමැතිව කල් ගිය පසුබිමක ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. කෙසේ නමුත් එම තරගාවලිය ද බොහෝ  දුරට දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ මත පළ කරති.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<