අක්කාගේ අඩි පාරේ ගොස් ජාතික ශූරයා වූ “සුපුන”

140

77 වැනි ජාතික මේස පන්දු ශූරතාවලියේ දී මේස පන්දු ජාතික ශූරයන්ගේ ලැයිස්තුවට එක් වීමට 99x Technologies ආයතනය නියෝජනය කරමින් තරගාවලියට එක් වූ සුපුන වරුෂවිතාන සමත් වෙනවා.

“ජාතික ශූරතාවලියේ ජයග්‍රාහකයා වෙන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණා. අවස්ථා කිහිපයක දී ම ඒ ආසන්නයට ම ඇවිත් පරාජය වුණ නිසා ඒ අසාව බොහෝ තදින් දැනිල තිබුණේ. එම බලාපොරොත්තුව ඉෂ්ඨ කර ගන්නව ම කියල නොවූවත්, තරගාවලියට එක් වුණේ හොඳ සූදානමකින්. ඒ නිසා මේ අවස්ථාවට පැමිණෙන්න ලැබුණා. ලැබූ මේ අවස්ථාව ගැන ගොඩාක් සතුටු වෙනවා.” සුපුන වරුෂවිතාන ThePapare.com සමඟ එක් වෙමින් පැවැසුවා.

ජාතික ශූරයා ලෙස අභිශේක ලැබූ සුපුන වරුෂවිතාන  Open Men’s Singles ඉසව්වේ දී පළමු අවසන් පූර්ව තරගයේ දී පසුගිය වසරේ ජාතික ශූරයා ලෙස අභිශේක ලැබූ චමීර ගිනිගේ තරග වට 4-1ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීම කැපී පෙණුනා.

එම තරගයේ දී පළමු වටයේ දී පෙරමුණ ගැනීමට චමීර ගිනිගේ සමත් වූව ද එතැන් සිට තරගයේ ආදිපත්‍ය තමන් වෙත නතු කර ගැනීමට සුපුන වරුෂවිතාන සමත් වූවා.

“තරගාවලියේ ගොඩාක් ම අමාරු තරගය වුණේ ඒක.” සුපුන පවසනවා. අවසන් තරගයේ දී සුපුන වෙතින් පරාජයට පත් වෙන්නේ Emjee ආයතනය නියෝජනය කළ ප්‍රසාද් ද සිල්වා. එම තරගයෙන් සුපුන තරග වට 4-2ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

“පළමු වතාවට ජාතික ශූරතාව දිනා ගැනීමට හැකි වීම ගැන කිව නොහැකි තරමේ සතුටක්. ඊට පෙර මම 2019 වසරේ දී ජාතික අනුශූරතාව දිනා තිබෙනවා. ඒ වගේ ම වෙනත් වෙනත් තරගාවලියන්වල ප්‍රධාන ශූරතා දිනා ගත්තා. ඒ සියල්ලට ම මට මේ ශූරතාව වැදගත්.”

සුපුනගේ මේස පන්දු ක්‍රීඩාවේ ආරම්භය නිශ්චිතව ම දින වකවානු ලෙසින් කිව නොහැකියි. එසේ වන්නේ, සුපුන ගේ පරම්පරාව ම මේස පන්දු ක්‍රීඩාවේ අක්මුල් පැතිර වූ අය බැවිනුයි. එය පරම්පරා 3ක් පුරා පැතිර යන්නක්.

වරුෂවිතාන පරම්පරාවේ මුල් ම මේස පන්දු ක්‍රීඩකයා වී ඇත්තේ සුපුනගේ සීයා වූ චන්ද්‍රදේව වරුෂවිතාන. ඔහු එකල මේස පන්දු පිටියේ කැපී පෙණෙන චරිතයක් වී සිටියාලු.

“සීයට ලොකු කාලයක් මේස පන්දු ක්‍රීඩාවේ යෙදී සිටිමට අවස්ථාව ලැබිල නැහැ. පවුලේ ව්‍යාපාරික කටයුතුවලට පාසල් කාලයේ සිට ම සම්බන්ධ වෙන්න වීම නිසා ඔහුගෙන් මේස පන්දු ක්‍රීඩාව ගිලිහෙනවා. ඒත් සීය අපේ තාත්තටත්, බාප්පටත් මේස පන්දු ක්‍රීඩාවේ යෙදෙන්න අවස්ථාව දීල තිබුණා. ගෙදරට ගෙනත් දීපු මේසයෙන් තමයි ඔවුන් බොහෝ විට ක්‍රීඩා කරල තියෙන්නේ. එත් ඉතිං සීයට වගේ ම අපේ තාත්තටත් ව්‍යාපාරික කටයුතු හේතුවෙන් ම මේස පන්දු ක්‍රීඩාවේ ලොකු දුරක් යන්න ලැබෙන්නේ නැහැ.”

සුපුන ගේ පියා, සුමුදු වරුෂවිතාන. සුමුදුගේ පියා වූ චන්ද්‍රදේව වරුෂවිතාන මිය යෑමෙන් අනතුරුව ඔහුගේ ව්‍යාපාරික කටයුතු භාර වෙන්නේ සුමුදුට. එබැවින් ඔහුගෙන් ද අකාලයේ මේස පන්දු ක්‍රීඩාව මඟ හැරී යනවා.

“සීය සෙල්ලම් කරන්න ගෙනාපු මේසයෙන් අපේ තාත්තටත් බාප්පටත් අමතර ව  මමත්, අක්කත්, මල්ලිත් පුංචි ම දවස්වල සිට ම මේස පන්දු ක්‍රීඩාවේ යෙදෙන්න පුරුදු වෙලා හිටියා. අපේ පළමු මඟ පෙන්වන්නන් වුණේ තාත්තත්, බාප්පත් තමයි.”

සුපුනගේ වැඩිමල් සොයුරිය එරන්දි වරුෂවිතාන, 2013 වසරේ දී ජාතික කනිෂ්ඨ ශූරිය ලෙසත් සහ 2014 සහ 2017 වසර ද්විත්යේ ජාතික ශූරිය ලෙසත් මෙන් ම  2010, 2016 සහ 2019 වසරවල දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, 2015 සහ 2017 ආසියානු ක්‍රීඩා උළෙල, 2014 සහ 2018 වසරවල පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය, 2014, 2015, 2016, 2017 සහ 2018 ලෝක කුසලාන තරගාවලිය සහ 2017 සහ 2019 ලෝක විශ්වවිද්‍යාලයීය තරගාවලිය වැනි ජාත්‍යන්තර තරග සංචාර 40කට වැඩි ප්‍රමාණයකට සහභාගී වී පදක්කම් දිනා ඇති ක්‍රීඩිකාවක්.

“අපිට මේස පන්දු ක්‍රීඩාවේ යෙදෙන්න උත්තේජනය ලබා දුන්නේ අක්කා. අක්කා තරග දිනල පදක්කම්, කුසලාන රැගෙන එද්දි ලොකු ආඩම්බරයකින් තමයි ඒව බදාගෙන එන්නේ. ඒ දවස්වල අක්ක දිනූ සමහර පදක්කම් එදා අපිට අල්ලන්නවත් දීපු නැති අවස්ථා තියෙනවා.”

සුපුන, එරන්දි සහ හිරුණ

සුපුනගේ සහෝදරයා වන හිරුණ වරුෂවිතාන ද අයියාගේත්, අක්කාගේත් අඩි පාරේ යමින් මේස පන්දු ක්‍රීඩාවේ ඉදිරියට පිවිසෙන අංකුර ක්‍රීඩකයෙක් ලෙසින් මේ වෙද්දී දක්ෂතා දක්වමින් සිටිනවා. මේ වෙද්දී මොරටු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන හිරුණ 2018 වසරේ දී මැලේසියාවේ පැවැති දකුණු ආසියානු තරගාවලිය නියෝජනය කරමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වෙනවා.

එමෙන් ම ඔහු මියැන්මාරයේ පැවති ආසියානු තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වූ අතර 2021 වසරේ ජාතික මේස පන්දු අනුශූරයා වීමට ද සමත් වෙනවා.

පවුලේ ලබැඳියන් සමඟින් ගෙදර සෙල්ලමට හුරු වූ සුපුන, තම පළමු පාසල් අවධිය ගත කළ අම්බලන්ගොඩ ධර්මාශෝකයේ මේස පන්දු පිටියට ද පිවිසියා. ඒ පිවිස ඉතා  කෙටි කාලයකින් ම වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායම නියෝජනය කරමින් 2013 වසරේ දී ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට භාග්‍ය උදා කර ගත්තා.

එම තරගාවලියේ දී සුපුන ඇතුළු කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා.

“ඒක තමයි මම රට වෙනුවෙන් සහභාගී වූ පළමු තරගාවලිය වගේ ම දිනා ගත් පළමු පදක්කමත් වුණේ. ඊට පස්සේ අවුරුද්දේ දී පාකිස්තානයේ පැවැති දකුණු ආසියානු තරගාවලියට ද සහභාගී වූ කනිෂ්ඨ කණ්ඩායමට එක් විමට මට අවස්ථාව ලැබෙනවා.”

එම තරගාවලියේ ද කණ්ඩායම් රිදී පදක්කම දිනා ගැනීමට සුපුන ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වෙන අතර සුපුනට එම තරගාවලියේ බාලක යුගල ඉසව්වේ ද රිදී පදක්කම දිනා ගැනීමට හැකි වෙනවා. එදා එම ඉසව්වේ සුපුනගේ සහායකයා වූයේ මෙදා ජාතික ශූරතාවලියේ ප්‍රතිවාදියා වූ ප්‍රසාද් ද සිල්වා.

“ජාත්‍යන්තර තරගාවලියක කණ්ඩායම් නොවන ඉසව්වක පදක්කමක් දිනා ගැනීමට ලැබුණ පළමු අවස්ථාව ඒක. මේ උත්තේජනයත් සමඟ 2016 වසරේ පාකිස්තානයේ දී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී කණ්ඩායම් රිදී පදක්කම දිනා ගැනිමට අපට හැකි වෙනවා.”

ඊට අමතර ව 2016 වසරේ දී තායිලන්තයේ පැවැති ආසියානු මේසපන්දු තරගාවලියට ද සහභාගී වෙන සුපුන එම වසරේ ම සිංගප්පූරුවේ පැවැති ආසියානු පාසල් මේස පන්දු තරගාවලියට එක් වෙන්නේ කණ්ඩායම් නායකයා ද ලෙසයි.

එමෙන් ම 2019 වසරේ දී ඉන්දුනීසියාවේ පැවැති ආසියානු මේස පන්දු තරගාවලිය, එම වසරේ ම ඉතාලියේ පැවැති විශ්වවිද්‍යාලයීය තරගාවලිය ද සහ ගෙවී ගිය වසරේ දී ශ්‍රී ලංකා වෙළඳ සේවා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ මැලේසියා සංචාරයන් ද ඔහුගේ මේස පන්දු සංචාර අතරට එක් වෙනවා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මේස පන්දු ක්‍රීඩාවට අත්-පොත් තැබූ සුපුන පසු කාලයේ දී කොළඹ ආනන්ද විද්‍යාලයට ද එක් වෙමින් මේස පන්දු පිටියේ පෙළහර පානවා. ඊට පසුව ඔහුගේ මේස පන්දු වේදිකාව වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයයි. එහි තොරතුරු තාක්ෂණ පීඨයේ ඉගෙන ගත් ඔහු මේ වෙද්දී 99x Technologies ආයතනයේ සේවයේ නියුතු වෙමින් එම කණ්ඩායමට ද ක්‍රීඩා කරනවා.

සුපුන ගේ මේසපන්දු ජීවිතයේ සමීපතමයන්, මඟ පෙන්වන්නන්, ඔල්වරසන් නගන්නන් ආදි එකී-නොකී සෑම  දෙයක දී ම පළමුවෙන් ම සිටින්නේ නිවැන්සියන්. පියා, සුමුදු වරුෂවිතාන, මව නිපුනිකා ගුණසිංහ සහ එරන්දිත්, හිරුණත් ඔහුගේ මේස පන්දු ජයග්‍රහණයන් හී හවුල්කරුවන් බවයි ඔහු පවසන්නේ.

සුපුන තම ආදරණීයයන් සමඟ

“මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ ගෙදර දි. මල්ලිගෙත්, අක්කගෙත් දක්ෂතාවලින් යම් යම් දේ ගන්නවාට අමතර ව,  දුර්වලතා අධ්‍යයනය කරමින් ඊට හේතු හදාරමින් යම් ඉගෙන ගැනීමක් කළා. මගෙන් ඒ අඩු-පාඩු නොවෙන්න වගබලා ගත්තා. මේ කාල පරාසයන්වල මම පුහුණුකරුවන් කිහිප දෙනෙක් යටතේ ම මේස පන්දු ක්‍රීඩාවට ගුරුහුරුකම් ගත්තා. ඒ අතර විශේෂිත වෙන්නේ නිශාන් පෙරේරා මහතා. ඔහු මගේ පළමු පුහුණුකරු මෙන් ම මේ දක්වා ම පෞද්ගලික පුහුණුකරු ලෙසින් ද කටයුතු කරනවා. ඒ වගේ ම චතුර දුශාන්, උපුල් සමන්ත සහ එන්. එච්. පෙරේරා යන මහත්වරුන් යටතේ ද මම ලැබූ පුහුණුව මට මේ ගමන යෑමට විශාල පිටුවහලක් වුනා.” සුපුන වරුෂවිතාන පවසනවා.

ඔවුන් යටතේ කෙතරම් හොඳ පුහුණුවක් ලැබූව ද තරග අත්දැකීම් තරම් වටිනා දෙයක් තවත් නොමැති බවයි සුපුන පවසන්නේ.

“අපිට දේශීය තරග උරුව ම පමණක් තිබිල මදියි. විදෙස් තරග අත්දැකීම් වැඩි වැඩියෙන් ලබා ගත හැකි නම් වඩාත් වැදගත් බවයි මගේ මතය. මම විශ්වාස කරනවා, එවන් තත්ත්වයක් තිබෙනවා නම් අපේ මේස පන්දු ක්‍රීඩාව මීට වඩා ගොඩාක් දියුණුයි වගේ ම සහ තරගකාරීත්වයකින් යුක්තයි කියලා.” සුපුන පවසනවා.

සුපුනට මේ කඩඉමට පිවිසීමට මේස පන්දු ක්‍රීඩාවට පිවිස දශක කිහිපයක් ම බලා සිටීමට සිදු වූවා. ඒ අතර තුර කාලයේ දී ජය – පරාජය එක සේ විඳ ගැනීමට සුපුනට හැකි වෙනවා. නමුත් මෙතැන් සිට ලැබූ ජයග්‍රහණය අභියෝගයක් කර තැකීමයි ඔහුගේ බලාපොරොත්තුව වී ඇත්තේ.

“පසුගිය අවුරුදු 2 දි ම මම යම් ආකාරයක පසු බැසීමක සිටියේ. ඒත් මේ ලැබූ ජයග්‍රහණයත් සමඟින් ඒ සියලු මඟ හැරීම් අවසන් කියල හිතෙනවා. මේ ජයග්‍රහණය මෙතැන් සිට ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ ලබා දෙමින් රටට යමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම මගේ රැකියා ආයතනයේ දියුණුව වෙනුවෙන් මගේ උපරිම දායකත්වය ලබා දීමට ද මම බලාපොරොත්තු වෙනවා.” සුපුන වරුෂවිතාන ThePapare.com සමඟ පැවැසුවා.

 සුපුන වරුෂවිතාන ගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ම ඉෂ්ඨ වේවා කියා ThePapare.com හී සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<