TT ලොවම කලඹනා – “මුතුමාලි” නුඹ තමා

621
Muthumali Priyadharshani

කටාර් රාජ්‍යයේ පැවති 25 වැනි ආසියානු මේසපන්දු තරගාවලියේ දී කාන්තා කේවල ඉසව්වේ අවසන් 16 දෙනා අතරට පැමිණෙමින් ශ්‍රී ලංකා මේසපන්දු තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකීය කාන්තාවක් දැක්වූ ඉහළ ම දක්ෂතාව දැක්වීමට මුතුමාලි ප්‍රියදර්ශනී සමත් වූවා.

ඇය මේ දක්ෂතාව කළේ තමන් සහභාගී වූ මංගල ජ්‍යෙෂ්ඨ තරග සංචාරයේ දී. එමෙන් ම ඇයගේ මේ දක්ෂතාව මෙවර තරගාවලියේ දී දකුණු ආසියානු කලාපයේ ක්‍රීඩිකාවක් දැක්වූ ඉහළ ම දක්ෂතාව ද වෙනවා. මේ ඇය ගැන ThePapare.com තබන සටහනක්.

Muthumali Priyadharshaniමේ වගේ දක්ෂතාවක් දක්වන්නට ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. සංචාරයට එක් වීමට කලින් සිට ම මගේ පෞද්ගලික පුහුණුකරු හසිත සමරවීර සර් කිව්වේ තරගාවලියේ දී මෙතෙක් නොකරපු දෙයක් කරමු කියලා. ඒ ඉලක්කය කරා යන්න මහන්සි වුනා. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් තමයි මේ”, මුතුමාලි ප්‍රියදර්ශනී ThePapare.com සමඟ එක් වෙමින් කතා කළා.

මුතුමාලි මේ ගමන පැමිණීමේ දී පළමුවෙන් සත්කාරක කටාර් රාජ්‍යයේ Ali  Mayammට එරෙහිව 11-8ක, 11-4ක සහ 11-1ක ලෙසින් තරග වට 3-0ක ජයග්‍රහණයක් වාර්තා කරනවා. ඉන් අනතුරුව තායිලන්තයේ Muangsuk  Anisara වෙතින් නිතරග ජයග්‍රහණයක් ලැබුවා.

තෙවැනි වටයේ දී ඉරාන ජාතික Farei Mayamට එරෙහිව 3-1ක ජයග්‍රහණයක් ලබා ගත්තා. ඉතා තියුණු තරගයක් වූ එහි දී මුතුමාලි පළමු වටයේ දී 5-11ක පරාජයක් ලැබූව ද, ඉන් අනතුරුව පැවති වට තුනේ දී 11-7, 11-8 සහ 11-9ක් ලෙසින් ජය ගත්තා.

එම ජයග්‍රහණයත් සමඟින් 16 දෙනාගේ වටයට එක් වූ මුතුමාලිගේ ප්‍රතිවාදිනිය වූයේ ලෝක මේසපන්දු ශ්‍රේණිගත කිරීමේ 27 වැනි ස්ථානයේ සිටි ජපානයේ Hina Hayata. ඇය මෙවර කාන්තා ඒකල, මිශ්‍ර යුගල සහ කාන්තා කණ්ඩායම් ඉසව්වල රන් පදක්කම්ලාභිනියයි. ඊට පෙර ඇය 2017 මේසපන්දු ලෝක ශූරතාවලියේ කාන්තා යුගල ඉසව්වේ ලෝකඩ පදක්කමත්, 2018 වසරේ දී කණ්ඩායම් ඉසව්වේ රිදි පදක්කමත් සහ 2019 වසරේ දී කාන්තා යුගල ඉසව්වේ රිදි පදක්කමත් දිනා ගත් අතිදක්ෂ ක්‍රීඩිකාවක්.

මුතුමාලි සහ ඇය අතර පැවති තරගයේ දී 3-11, 6-11ක් සහ 5-11ක පරාජයකට මුහුණ දීමට මුතුමාලිට සිදු  වුනා.

තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායම 12 වැනි තැන දිනා ගත් අතර එය මෙතෙක් මෙවන් තරගාවලියක දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලත් ඉහළ ම ජයග්‍රහණය බවට පරිවර්තනය වුනා.  ඔවුන්ගේ ඊට පෙර ඉහළ ම දක්ෂතාව වී තිබුණේ 2019 වසරේ දී ඉන්දුනීසියාවේ දී පැවති ආසියානු ශූරතාවලියේ දී දිනා සිටි 19  වැනි ස්ථානයයි.

ඇත්තට ම ඔවුන්ගේ දක්ෂතා බොහෝ ඉහළ මට්ටමේ තියෙනවා. ක්‍රීඩිකාවක් ලෙස අපට එවන් අය සමඟ තරග කිරීමට ලැබීමත් ලොකු භාග්‍යයක්. කොහොම නමුත් තරගාවලියේ දී මා ලැබූ පෞද්ගලික ජයග්‍රහණත්, කණ්ඩායමක් ලෙසින් ලැබූ ස්ථානය ගැනත් ලොකු සතුටක් තියෙනවා“, මුතුමාලි පැවසුවා.

මෙවන් ගමනක් ආ, මුතුමාලිගේ මේසපන්දු ගමන ආරම්භ වෙන්නේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන්. ඒ වන විට ඇය වයස අවුරුදු 6ක දැරිවියක්. ඒ වෙද්දී මුතුමාලිට මේසපන්දු ක්‍රීඩාව කියන්නේ මොකක් ද කියලා හරි හැටි දැනීමක් තිබිල නැහැ. ඇය කැමති වෙලා තියෙන්නේ එතැනට එන අයත් සමඟ ඇයට සෙල්ලම් කරන්නට ලැබෙන ඉඩ අවස්ථාව නිසා. මේ හයක් හතරක් හරි හැටි නොදන්නා මුතුමාලිව මේසපන්දු ක්‍රීඩාවට යොමු කරන්නේ ඇයගේ මව මල්කාන්ති ද සිල්වා මහත්මිය.

අම්මා තමයි මුල සිට ම මාව මේ සඳහා උනන්දු කෙරෙව්වේ. මමත් සෙල්ලම් කරන්න ඉඩ ලැබෙන නිසා ආවා. එහෙම ආපු ගමන මේ තරම් දුර එන්න ලැබෙයි කියලා හිතුණේ නැහැ.”

මුතුමාලිගේ පළමු පාසල් පුහුණුකරු පුබුදික් කුමාර මහතා. ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ මේසපන්දු පුහුණුකරු. ඒ වගේ ම වාසනා දිනේෂ් කුමාරි මහත්මිය සහ තරුඳු රුශාන්ත මහත්මයා යටතේ ද ඇය එහි දී පුහුණුව ලැබුවා.

ඒ කාලේ අම්බලන්ගොඩ කියන්නේ මේසපන්දු තමයි. පාසලේ අපි අතර වගේ ම පිට පාසල්වල අය සමගත් අපිට ලොකු තරගයක් තිබුණා. කවුරුවත් කාටවත් පරාජය වෙන්න කැමැත්තක් තිබුණේ නැහැ. එක Tournament එකක දී පරාජය වෙන කෙනා ඊළඟ Tournament එකේ දී කොහොම හරි දිනන්න ඕන කියන උත්සාහය තිබුණා. ඒක අපේ දෙමාපියන්ටත් පාසලේ පුහුණුකරුවන් වූ සර්ලටත් මිස්ලටත් තිබුණා. මේ තරගකාරිත්වය නිසා මම පෞද්ගලිකව පුහුණු වෙන්න ලක්ෂාන් හර්ෂණ සර් ළඟට ගියා. ලක්ෂාන් සර් තමයි මගේ පළමු පෞද්ගලික පුහුණුකරු. ඒ වගේ ම ඒ. ඩබ්ලිව්. අනුරලාල් සර් ද මට ගොඩාක් උපදෙස් සහ උදව් කළා.”

මේ පුහුණුවීම්  කොතෙක් ද යත්, වැඩි කාලයක් නොගිහින් ම මුතුමාලි ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ මේසපන්දු ක්ෂේත්‍රයේ කතා බහට ලක්වෙන චරිතයක් වෙනවා. ඇය වයස අවුරුදු 10න් පහළ ඉසව්වේ සිට වයස අවුරුදු 18න් පහළ ඉසව්ව දක්වා වූ විවිධ වයස් කාණ්ඩ ඉසව්වල ශ්‍රී ලංකා මේසපන්දු බාලිකාවන් ශ්‍රේණිගත කිරීමේ දී අංක එකේ ක්‍රීඩිකාව බවට වරින් වර පත් වෙනවා.

අපි ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා. අපිට හරියට පුහුණුවීම් කරන්න හරි හැටි ශාලාවක් වත් තිබුණේ නැහැ. දවසින් දවස තැනින් තැන පංති කාමර අස්කරගෙන තමයි පුහුණුවීම් කළේ. හැබැයි එහෙම වුනා කියලා අපි කවදාවත් පුහුණුවීම් නොකර හිටියේ නැහැ. අපි හැම කෙනෙක්ගෙම උනන්දුව සහ උවමනාව තිබුණෙ හැම Tournament එකක දී ම වැඩිම පදක්කම් ප්‍රමාණයක් අර ගන්න.”

ඒ හැඟීමෙන් පුහුණුවීම්වල නිතර වූ මුතුමාලි 2016 ජාතික කනිෂ්ඨ මේසපන්දු ශූරිය වෙනවා.

ඒ මම වයස අවුරුදු 18න් පහළ අවසන් වරට මුහුණ දෙන අවුරුද්ද. මේ නිසා ලොකු බලාපොරොත්තුවක් තිබුණා Junior National වෙන්න. මොකද ඒ වෙද්දී මම ශ්‍රී ලංකා කනිෂ්ඨ මේසපන්දු කණ්ඩායම නියෝජනය කරමින් තරග සංචාර කිහිපයකට ම සහභාගී වෙලා හිටියා. දකුණු ආසියානු පදක්කම් පවා දිනා සිටියා. ඒ වගේ ම හැම වයස් කාණ්ඩයක ම Number One ඉඳලා, ගොඩක් Tournament දිනලා තිබුණා. මේක දිනා නොගත්තොත් වැඩක් නැහැ කියල හිතිල තිබුණේ. ඒ ආසාවත් ඒ අවුරුද්දේ ම ඉටු වුනා.”

මේ වෙද්දී මුතුමාලි ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ මේසපන්දු කණ්ඩායම නියෝජනය කරමින් 2011, 2012, 2014 සහ 2015 වසරවල පැවති දකුණු ආසියානු මේසපන්දු තරගාවලි නියෝජනය කරමින් ඒකල ඉසව්වේ ලෝකඩ පදක්කම්, යුගල ඉසව්වේ රිදී පදක්කම් සහ කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වෙනවා. එමෙන් ම 2016 වසරේ පැවති තරගාවලියේ දී කණ්ඩායම් රන් පදක්කම් දිනා ගත් කනිෂ්ඨ කණ්ඩායමේ ද ඇය සාමාජිකාවක්. ඇය මේ කාලයන්වල දී ආසියානු කනිෂ්ඨ තරගාවලීන් නියෝජනය කළ ද එහි පදක්කම් දිනා ගැනීමට සමත් වෙන්නේ නැහැ.

පාසල් කාලයෙන් පස්සේ මුතුමාලිගේ පුහුණුකරු වුනේ නිශාන් පෙරේරා මහතා. ඔහු යටතේ පුහුණුවීම් ලබමින් සිටිද්දී ඇය අම්බලන්ගොඩින් මීගමුවට පැමිණෙනවා.

මට අවශ්‍ය වුනේ වැඩි කාලයක් මේසපන්දු ක්‍රීඩාව වෙනුවෙන් වැය කරන්න. ගොඩාක් Tournament තිබුණේ කොළඹ. ඒ වගේ ම මේසපන්දු සංචිත පුහුණුවීම් තිබුණේ කොළඹ. මේ නිසා මම මීගමුවේ ඉන්න මගේ නැන්දා ප්‍රියංකා සඳමාලි ළඟට එනවා. එදා සිට මාමත් නැන්දත් මාව රැක බලාගෙන මගේ මේසපන්දු ක්‍රීඩාවට ගොඩාක් උදව් කරනවා. මට අවශ්‍ය නිදහස ලබා දෙමින් දැන් මාව දිරිමත් කරන්නේ ඒ දෙන්නා.”

කොළඹට පැමිණීමෙන් අනතුරුව මුතුමාලිගේ පුහුණුකරු වෙන්නේ හසිත සමරවීර මහතා.

හසිත සර්ගෙන් ලැබුණ ගොඩාක් දේවල් තියෙනවා. මේ තරමට මාව ගොඩ නැගුවේ හසිත සර්. හසිත සර් යටතේ පුහුණුවෙමින් සහභාගී වූ Tournament 6කින් 5ක මම Final ආවා. අවස්ථා කිහිපයක දී ම Champion වුනා. Best Player වුනා. ආසියානු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමටත් හසිත සර්ගෙ උපදෙස් සහ පුහුණුකාරීත්වය ගොඩාක් වැදගත් වුනා. ඒ වගේ ම හසිත සර්ගේ බිරිඳ චේතනා සමරවීර මහත්මියත් මට ගොඩාක් උදව් කළා.”

මුතුමාලි කියන්නේ හසිත සමරවීර මහතා නොවුවා නම් ඇයට ආසියානු තරග සංචිතයට එක්වීම සිහිනයක් වන බවයි.

Muthumali Priyadharshani 3
පුහුණුකරු හසිත සමරවීර මහතා සමඟ

“කොරෝනා වයිරසය නිසා හැම දෙයක් ම ඇනහිටලා තිබුණේ. පුහුණුවීම් පවා ක්‍රමානුකුලව පවත්වා ගෙන යෑමට හැකියාවක් තිබුණේ නැහැ. ඒත් ආසියානු තරග සංචාරයේ තෝරා ගැනීම් තරග ඉලක්ක කර ගනිමින් හසිත සර් පුහුණුවීම් දැම්මා. දවස් කිහිපයක් ගියත් ආර්ථික අපහසුතා දැඩිව දැනෙන්න ගත්ත නිසා මම පුහුණුවීම් මඟ හැරියා.

නැන්දත් මාමත් මේ ගැන ගොඩාක් කම්පා වුනා. ඔවුන් නම් කිව්වේ පුහුණුවීම්වලට සහභාගී වෙන්න සල්ලි දෙන්නම් කියලා. හසිත සර් මේ බව දැනගෙන සල්ලි නැති වුනාට කමක් නැහැ පුහුණුවීම්වලට එන්න කියලා කිවුවා. වෙනදා පැයක් පුහුණුවෙන මම ඊට පස්සේ සමහර දවස්වල පැය 58ක කාලයක් පුහුණුවිම්වල යෙදුණා. හසිත සර් ඒ පුහුණුවීම් වුන සැම අවස්ථාවක ම කිවුවේ අපි මේ Tournament එකේ දී කවුරුත් කතා නොකරපු දෙයක් කරමු කියලයි.”

ආසියානු තරග සංචාරය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා මේසපන්දු සංගමය වගේ ම තමන් සේවය කරන නාවික හමුදා ක්‍රීඩා සංචිතය ද දැක්වූ සහයෝගයට ඇය ස්තූතිය පුද කරනවා.

ඔවුන් අපිට ගොඩාක් උදව් කළා. රටේ පැවති කලබලකාරී වාතාවරණය මැද පවා ඔවුන් දැක්වූ ඒ අනුග්‍රහය ඉතා විශිෂ්ටයි. මේසපන්දු ජාතික පුහුණුකරු චතුර දුශාන් මහතා සහ Physio ලෙස සහභාගී වූ රවින්ද්‍ර ජීවන්ත මහතා ද මේ Tournament එකට සුදුසුකම් ලැබූදා සිට ගොඩාක් වෙහෙස වුනා. ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා.”

මුතුමාලිගේ මේසපන්දු ගමන ‘මුතු’ මාලයක් තරමට ම වටිනා කමක් ලැබුවත් එය නිමැවීමේ දී බොහෝ කටුක අවස්ථාවන් ද එහි තිබෙනවා. ඒ කටුක බව, දුෂ්කර බව ජය ගන්න මුතුමාලි සමත් වෙන්නේ තමන්ට මේස පන්දු ක්‍රීඩාව ඇරෙන්නට වෙනත් කිසිවක් ම වැදගත් නොවු නිසා බවයි ඇය පවසන්නේ.

හසිත සර්, නැන්දත් මාමත් තමයි මගේ මේසපන්දු ක්‍රීඩාවේ වර්තමාන අයිතිකරුවන්. ඔවුන් මේ වෙනුවෙන් මමත් සමඟ හරි හරියට මහන්සි වෙනවා. ඒ වගේ ම මගේ මව, පියා, මල්ලි, ආච්චි සහ මුල සිට ම සිටි පුහුණුකරුවන් මගේ ජයග්‍රහණ පිටුපස සිටිනවා. ඔවුන්ගේ දිරි ගැන්වීම ආශීර්වාදය මට ඉතා වැදගත්.”

තමන්ගේ සමීපතමයන් තමන්ගේ දක්ෂතා සමඟ රැඳී සිටීම ගැන මුතුමාලි පවසන්නේ තමන්ට තමන්ගේ ඉලක්කයන් කරා යෑමට එය විශාල ශක්තියක් බවයි.

මේසපන්දු ක්‍රීඩාවේ දී යා යුතු ඉලක්ක කිහිපයක් ම තිබෙනවා. ඉන් පළමුවැන්න පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී පදක්කමක් ලබා ගැනීම. ඒ වගේ ආසියානු මට්ටමේ හොඳම හතර දෙනා අතරට එන්න උත්සාහ කරනවා. ඒක ලේසි නැහැ. චීනය, ජපානය සහ කොරියාව තමයි දැනට ඉදිරියෙන් ඉන්නේ. නමුත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ද මැදිහත් වීම මගින් ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා දෙනවා නම් ඒ ගමනට ශක්තියක් වේවි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේ ම ලෝකයේ හොඳම මේසපන්දු ක්‍රීඩිකාවන් අතරට එන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා”, මුතුමාලි ප්‍රියදර්ශනී ThePapare.com සමඟ පැවසුවා.

මේ අංකුර ක්‍රීඩිකාවගේ දක්ෂතා ThePapare.com අප අගය කරන්නේ ඇය වෙතින් අපි ශ්‍රී ලංකාවේ අනාගත මේසපන්දු ක්‍රීඩාව දකින බැවින්. ළාබාල අවධියේ පසුවන ඇය තමන් සහභාගී වූ පළමු ජ්‍යෙෂ්ඨ තරගාවලියේ දී ම මෙවන් දක්ෂතාවක් කළේ නම් අනාගතයේ දී ඇය තරම් විශ්වාස කිරීමට තවත් කෙනෙක් දැනට නොවේ යැයි සිතමු.

මේසපන්දු ක්‍රීඩාවේ නවතම ජයග්‍රහණයේ හිමිකාරිය වූ මුතුමාලි ප්‍රියදර්ශනීගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ම ඉෂ්ට වේවායි ThePapare.com හි සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<