ක්‍රිකට් ක්‍රීඩාවේ ඔලිම්පික් අපේක්ෂාවන් ඉහළ නැංවේ

254
Image Courtesy: AFP/GETTY IMAGES

ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් කිරීමේ උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යමින් ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් වුවහොත් ලැබෙන විභව මූල්‍ය ප්‍රතිලාභය පිළිබඳව වාර්තා කරන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එහි සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇත. 

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සියලුම සාමාජිකයන් වෙත යවන ලද ප්‍රශ්නාවලියක් මඟින් මේ පිළිබඳව විමසා ඇති අතර යම් හෙයකින් ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙල සඳහා ස්ථීර වශයෙන් ඇතුළත් වුවහොත් එම එක් එක් රටවල්හි රජයෙන් සහ අදාළ ඔලිම්පික් සංවිධානයන්ගෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි මූල්‍ය ආධාර පිළිබඳව ගණනය කරන ලෙසද දන්වා ඇත.

එමෙන්ම එම ප්‍රශ්නාවලිය මඟින් මෙම ක්‍රීඩාව ඔලිම්පික් උළෙල සඳහා ස්ථීර වශයෙන්ම ඇතුළත් වුවහොත් හා එක් වරකට පමණක් ඇතුළත් වුවහොත් යන අවස්ථා ද්විත්වයම සලකා බලා, එවිට ලබාගත හැකි සහයෝගය අතර වෙනස හඳුනාගන්නා ලෙසද සමාජිකයන්ගෙන් ඉල්ලා තිබීම කුතුහලය දනවන කරුණක් විය.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු ඇතුළත් ආකෘති පත්‍රයන් නොවැම්බර් මස 02 දින නැවත ලබාදීමට සියලුම සාමාජිකයන් කටයුතු කළ යුතු අතර එහි ප්‍රතිඵලයන් පිළිබඳව ලබන මස පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේ දී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

එම සැසිවාරයේ ද මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට නියමිතව ඇති අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරෙන් පසුව ඇති කිසිඳු සංචාරයක් සඳහා මේ දක්වා එකඟතාව පළකර නොමැත.

තවද ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වීම තහවුරු වුවහොත් බොහෝ ක්‍රිකට් පාලක මණ්ඩලයන්ට ඔවුන්ගේ රජයෙන් හෝ වෙනත් රාජ්‍ය සංවිධානයන්ගෙන් වැඩි අරමුදලක් හිමිවනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර කොරෝනා වසංගතය නිසාවෙන් එම පාලක මණ්ඩලයන් මුහුණපා ඇති ආර්ථික දුෂ්කරතාවයන්ට ද එය උපකාරයක් වනු ඇත.

එසේ නමුත් මෙම ක්‍රියාවලිය සඳහා සැලකිය යුතු බාධාවන් ඇත. විශේෂයෙන්ම ‘big three’ ලෙසින් හඳුන්වන ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය යන රටවල් වලින් කෙටිකාලයක් තුළ ලබාගත හැකි බොහොමයක්, ඔලිම්පික් සහභාගීත්වයෙන් අහිමි වන අතර මෙය මඟින් ඔවුන් අතර පවතින තරගාවලි සැලසුම් විනාශ කර දමන බවට තර්ක කර තවත් ලෝක මට්ටමේ තරගාවලීන් පවත්වන්නැයි අනෙකුත් රටවල් සිදුකළ ඉල්ලීමට සිය විරුද්ධත්වය ද මීට පෙර පළකර තිබුනි.

ක්‍රිකට් ක්‍රීඩාව 1900 වසරේ පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් කර තිබූ නමුත් බෙල්ජියමය සහ නෙදර්ලන්තය තරගාවලියෙන් ඉවත් වීම නිසාවෙන් තරගාවලියේ පැවති එකම තරගය වූ ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍ය අතර තරගය ලකුණු 158කින් ජය ගැනීමට මහා බ්‍රිතාන්‍ය කණ්ඩායම සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<