ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිත 2020 පැරාලිම්පික් උළෙලේ එක් අතක් අක්‍රීය හෝ නොමැති F46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වන දිනේෂ් ප්‍රියන්ත හේරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද උසුලනවා.

මෙරට ක්‍රීඩකයන් අතරින් දිනේෂ් පැරාලිම්පික් උළෙලක දී පදක්කමක් දිනා ගත් දෙවැනි ක්‍රීඩකයායි. ඔහු 2016 රියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ දී මෙම ඉසව්වෙන් ම ලෝකඩ පදක්කමක් දිනා ගත්තා. ඊට පෙර එම දක්ෂතාව කර තිබුණේ ප්‍රදීප් සංජය. ඔහු 2012 ලන්ඩන් පැරාලිම්පික් උළෙලේ දී T46 කාණ්ඩයේ මීටර් 400 දුර දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබුණා. දිනේෂ් 2017 සහ 2019 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියන් හී ජයග්‍රාහී රිදී පදක්කම්ලාභියෙක් ද වෙනවා.

“මේ දේවල් සමඟ මෙවර ලොකු බලාපොරොත්තුවක් තියෙනවා රන් පදක්කමක් දිනා ගන්න. ඒ වෙනුවෙන් ගොඩක් වෙහෙස වෙමින් පුහුණුවීම් කළා. ඒ වගේ ම මෙවර වැඩිම පදක්කම් ප්‍රමාණයක් අපේ රට ට රැගෙන ඒමට හැකි වේවි කියලා, නායකයා ලෙසින් පැරාලිම්පික් උළෙලට සහභාගී වෙන අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ලොකු විශ්වාසයකින් පසු වෙනවා“, දිනේෂ් ප්‍රියන්ත හේරත් ThePapare.com සමඟ කතාබහට එක්වෙමින් පැවසුවා. 

දිනේෂ්ගේ ගම කාගම. අනුරාධපුර, ඉපලෝගම පිහිටි කුඩා ගම්මානයක්. පාසල් යන්නේ ඉපලෝගම, කාගම ධාතුසේන මහා විද්‍යාලයට. පාසල් යන කාලේ ක්‍රීඩාවක් කරන්න තරම් කාලයක් දිනේෂ්ලට තිබිලා නැහැ. පාසල් ගිහිල්ල ඇවිත් ඊට පස්සෙ කුඹුරු වැඩවලට යනවා. ඉඳ හිටක ලැබුණ විවේකයක දී නම් යහළුවන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරල තියෙනවා.

තිදෙනෙක්ගෙන් යුත් පවුලේ දිනේෂ් වැඩිමල් පිරිමියා. දිනේෂ්ට වැඩිමල් අක්කත්, බාල මල්ලිත් පවුලේ සෙසු සාමාජිකයන් වුනා. දිනේෂ්ගේ තාත්තා, දිනේෂ්ට අවුරුදු 12ක් විතර වෙද්දී මිය යනවා. මේ නිසා දිනේෂ් දන්න කියන කාලේ සිට ම ගෙදර බර කර ගැහුවේ අම්මා, වයි. එම්. කමලාවති. ඇය කාර්යශූර ගෙවිලියක්. 

“තාත්තා නැති අඩුව අම්මා මොනම වෙලාවකවත් දැනෙන්න දුන්නේ නැහැ. අපි තුන් දෙනාගේ අවශ්‍යතා වෙනුවෙන් අම්මා නොසෑහෙන්න මහන්සි වුනා. ඒත් කවදාවත් කියලා නෑ, ඇවිත් කුඹුරු වැඩවලට උදව් වෙන්න කියලා. පාසල් වෙලාවෙන් පස්සේ අපේ උවමනාවටයි කුඹුරු වැඩවලට උදව් වෙන්න ගියේ. ඒත් අම්මා අපි කුඹුරු වැඩවලට එක් වෙනවට කැමති වුනේ නැහැ. පාසල් වැඩ බලාගන්න කියලා කුඹුරෙන් පිටත් කරන්න තමයි උත්සාහ කළේ.“

දිනේෂ්ලා ටිකෙන් ටික උස් මහත් වෙද්දී අම්මට මේ බර වැඩියෙන් දරන්න වුනා. ඒක පාසල් යන වයසේ සිටියත් දිනේෂ්ලට හොඳින් දැනුණා. අක්කා ගෙදර දොරේ වැඩවලට උදව් වෙද්දී, අම්මා අකමැති වුනත් දිනේෂ් ගොඩක් කාලවලට පාසල් නොගිහිල්ලත් කුඹුරු වැඩවලට සහභාගී වෙන්න ගත්තා.  

“ඒ කාලේ අපි ගොඩක් දුක් වින්ඳා. පාසල් ගියත් නොගියත් අතේ කර ගැට එනතුරු කුඹුරු කෙටුවා. රෑට නිදිවරමින් සත්තුන්ගෙන් කුඹුරු ආරක්ෂා කළා. සාමාන්‍ය පෙළ කළාට පස්සේ මම යුද හමුදාවට බැඳෙනවා. ඒ කාලෙ අපේ ගම්වල අපිට යුද හමුදා සෙබළු නිතර හමුවෙනවා. යුද ඇඳුම ඇඳලා, තුවක්කුත් එල්ලගෙන යනකොට අපේ හිත් ඉබේ ම ඒ පැත්තට ඇදිලා ගිහිල්ලා තිබුණේ. යුද හමුදාවට බැඳීමේ ආසාව පොඩි කාලේ සිට ම තිබුණා. ආර්ථික තත්ත්වයටත් වඩා යුද ඇඳුම අඳින්න පුදුම ආසාවකින් හිටියේ. ඒ නිසා යුද හමුදාවට එක් වීම ඉක්මන් වෙනවා.“

2004 අවුරුද්දේ දී දිනේෂ් යුද පුහුණුව ලබන්න සාලියපුර ගජබා රෙජිමේන්තු පුහුණු පාසලට යනවා. ගමට කිට්ටුව නිසා දිනේෂ්ට ඒක ගමේ ඉන්නවා වගේ දැනුණේ.  පුහුණුවෙන් පස්සේ දිනේෂ් 3 වැනි ගජබා රෙජිමේන්තුව සමඟ යාපනයට යනවා. ඒක තමයි දිනේෂ්ගේ පළමු පත්වීම් ප්‍රදේශය. එතැන සිට මානුෂීය මෙහෙයුම සමඟ එක්වෙමින් අක්කරායකුලම් යනවා. 

“දිගට ම සේවය කළේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පැවති මානුෂීය මෙහෙයුමෙ ඉදිරි කාණ්ඩයේ. ඔය අතර 2008 අවුරුද්දේ දී මට වෙඩි වැදෙනවා. අවුරුදු 4ක් විතර ආබාධිත තත්ත්වයට යුද හමුදා රෝහලෙන් ප්‍රතිකාර ලබනවා. ඒක හරි නීරස කාලයක්. යන එනකොට මං වෙනුවෙන් තවත් කෙනෙක්ට යන්න එන්න වෙනවා. ඒක ලොකු වදයක් වගේ හිතුණා. ඒත් ඉතිං වෙනත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඔය අතර තමයි ආබාධිත අය වෙනුවෙන් වෙනම ක්‍රීඩා කරන්න පුළුවන් සංචිතයක් තියෙනවා කියලා මම දැන ගන්නේ.“

ඒ 2012 අවුරුද්ද. ඒ අනුව දිනේෂ් ගජබා රෙජිමේන්තු පැරා ක්‍රීඩා කණ්ඩායමට එක් වෙනවා. ඒත් ඉතිං ක්‍රීඩා කණ්ඩායමට එක් වුනත් දිනේෂ්ට කරන්නේ කුමන ක්‍රීඩාව ද කියන එක ගැන හැඟීමක් තිබුණේ නැහැ. 

“පාසලේ ක්‍රීඩා කරල තිබුණෙත් නැහැ. ගමේ දී යාළුවන් සමඟ ක්‍රිකට් ගහල තිබුනත් මෙතැන ක්‍රිකට් තිබුණෙත් නැහැ. මොකක් කරන්න ද කියල හිතා හිතා ඉන්දැද්දී රෙජිමේන්තු සාජන් දසනායක සර් තමයි කිව්වේ හෙල්ල විසි කරමු කියලා. සර් තමයි පුහුණු කළෙත්. මමත් කැමති වුනා.“

ඒ අනුව හෙල්ල විසි කිරීමේ පුහුණුවට එක් වූ දිනේෂ් මාස කිහිපයකින් ම යුද හමුදා පැරා මලල ක්‍රීඩා උළෙලේ දී මෙන් ම ජාතික පැරා මලල ක්‍රීඩා උළෙලේ ද එම ඉසව්වෙන් දක්ෂතා දක්වනවා. ඒ හේතුවෙන් ම ඔහුට පුහුණුවට පැමිණි එම අවුරුද්දේ ම මැලේසියාවේ පැවති විවෘත පැරා මලල ක්‍රීඩා උළෙලට සහභාගී වීමට වරම් ලැබෙනවා. 

“ඒක මගේ පළමු විදෙස් සංචාරය. එම තරගාවලියේ දී මම මගේ ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නවා. ඒත් එක්කම එම අවුරුද්දේ ම කොරියාවේ පැවති ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වෙනවා. ඒකෙන් 6 වැනි ස්ථානය ලබා ගන්න සමත් වෙනවා.“

අනතුරු ව 2015 වසරේ කටාර් හි පැවති ලෝක පැරා ශූරතාවලියට සහභාගී වීමට ද දිනේෂ් අවස්ථාව උදා කර ගන්නවා. එහි දී දිනේෂ්ට ලැබෙන්නේ හය වැනි ස්ථානය. එම ස්ථාන ගත වීමත් සමඟින් දිනේෂ්ට 2016 පැරාලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වීමට අවස්ථාව හිමි වෙනවා. එහි දී දිනේෂ් රිදී පදක්කම දිනා ගනිමින් බ්‍රසීලයේ පැවති රියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙල සඳහා සහභාගී වීමට වරම් ලබා ගන්නවා. 

“රියෝ පැරාලිම්පික් උළෙලේ දී මම මීටර් 58.23ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගන්නවා. ඇත්තට ම ඒක මම ලැබූ විශාල ජයග්‍රහණයක්. මගේ ගමනට ඒක ලොකු ආශීර්වාදයක් වුනා.“

එතැන් සිට දිනේෂ් තම ඉසව්ව තව තවත් කැපවීමෙන් හදාරණවා. මේ වෙද්දී ඔහු පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා සමඟ එක් වෙමින් මෙවර පැරාලිම්පික් උළෙල සඳහා සහභාගී වීමට පුහුණුවීම් ලබනවා. 

“රියෝ පැරාලිම්පික් උළෙලෙන් පස්සේ 2017 ලන්ඩන් ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ රිදී පදක්කමත්, 2018 අවුරුද්දේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමත් සහ 2019 ඩුබායි හි පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රිදී පදක්කමත් දිනා ගන්න මට හැකි වෙනවා. ඒ දක්ෂතාත් සමඟිනුයි දිනේෂ් මෙවර පැරාලිම්පික් උළෙලට සහභාගී වෙන්නේ.

“ගියවරත් පදක්කමක් දිනා ගත් නිසා මා කෙරෙහි තියෙන විශ්වාසය වැඩි වෙලා තියෙන්නේ. ගොඩක් දෙනෙක් මගෙන් පදක්කමක් බලාපොරොත්තු වෙනවා. මමත් ඒ බලාපොරොත්තුවෙන් පසු වෙනවා. මේ වෙනුවෙන් පුහුණුකරු ප්‍රදීප් සර් සමඟ හොඳ පුහුණුවක් ලැබුවා. සර්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. අපි මිතුරන් වගේ පුහුණුවීම් කරන්නේ. ඔහුත් මා කෙරෙහි තබා තියෙන විශ්වාසය ඉතා ඉහළයි. බලමු. වරදින එකක් නැහැ”, දිනේෂ් පවසනවා.

35 වැනි වියේ පසුවෙන දිනේෂ් විවාහකයි. බිරිඳගේ එම්. ඉෂංකා මධුවන්ති. දිනේෂ්ගේ ගමේ ම කෙනෙක්. ඔවුන්ගේ කැදැල්ල ලස්සන කරන්න, පිය සෙනෙහසත් මව් සෙනෙහසත් දක්වන්න, ලබා දෙන්න දරුවන් තිදෙනෙක් ඉන්නවා. අවුරුදු 10ක් වෙන ලොකු පුතා ප්‍රමද මෙනුවෙන්. දෙවැන්නි දුව මිතුනි වර්ෂනා. අවුරුදු 5යි. පවුලේ බාල පුතා, සත්දුල සනුල්‍ය තවමත් මාස 4ක බිලිඳෙක්. ඔවුන්ගේ පදිංචිය කාගම. 

“මේ ගමන මම තනිව ආ ගමනක් නෙමෙයි. විශාල පිරිසක් ඉන්නවා. ඒ අතර බිරිඳගෙන් මගේ අම්මගෙන් ඒ වගේ ම බිරිඳගේ ගෙදර සියලුම දෙනාගෙන් සහ නෑදෑ සියලුම දෙනාගෙන් වගේ ම ගමේ සියලුම දෙනාගෙන් මගේ මේ ගමනට විශාල ශක්තියක් ලැබෙනවා. මගේ ජයග්‍රහණ පිටුපස්සේ සිටින්නේ ඔවුන්. ඒ වගේ ම යුද හමුදාව, ක්‍රීඩා අමාත්‍යංශය සහ පැරාලිම්පික් කමිටුව ද මා වෙනුවෙන් විශාල මෙහෙවරක් කළා. ඔවුන් සෑම දෙනෙක්ට ම ස්තුතිවන්ත වෙනවා“, දිනේෂ් ප්‍රියන්ත හේරත් පැවසුවා.

ගියවර පැරාලිම්පික් උළෙලේ දී දිනූ ලෝකඩ පදක්කම මෙවර රන් පදක්කමක් කර ගැනීමට මාන බලන ඉපලෝගම යෝධයාට තම බලාපොරොත්තු එලෙසින් ම ඉටු වේවා කියා ThePapare.com හි සුබ පැතුම්.   

ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානමින් සිටිනවා. තරගාවලිය මේ මස 24 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝ නුවර දී  පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සිරි අසිරිය විඳගන්න, රැඳී සිටින්න ThePapare.com අපි සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<