සරණාගතයෙකු ලෙස පැමිණ නෙදර්ලන්ත ඉතිහාසය අලුත් කළ ධාවන ශූරිය

268

2021 අගෝස්තු 02 වැනිදා ලොව පුරා මලල ක්‍රීඩා රසිකයන්ට ඉතා වැදගත් දිනයක් වූයේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා පිටියේ ඉතා උණුසුම් ඉසව් කිහිපයක් එදින පැවැත්වූ නිසයි.

තරගාවලියේ ඉතා වැදගත් ඉසව්වක් වූ කාන්තා මීටර් 1500 ඉසව්වේ මූලික තරග ආරම්භ වී ක්‍රීඩිකාවන් සියල්ල එක් පොකුරට තරග වදින්නට වුනා. තරගය ආරම්භ වී කෙටි දුරක් නිමා වෙද්දී නෙදර්ලන්ත ක්‍රීඩිකා Sifan Hassan පිටිය මැද ඇදවැටෙන්නට වුනා.

ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට ආසන්නතම ක්‍රීඩිකාවක් වූ Sifan Hassanට එම සිදුවීම නිසා පදක්කම් සිහිනයට තිත තැබීමට සිදුවෙතැයි බොහෝ දෙනා සිතන්නට වුනා.

Sifan Hassan (ඉදිරියෙන්) 2020 ඔලිම්පික් උළෙලේ මීටර් 1500 තරගය අතරතුර අනතුරට ලක්වෙමින්

Sifan Hassan නෙදර්ලන්තය නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබුවත් ඇයගේ උපන් රට වූයේ දිගුදුර ධාවන ශූරයන් නිරන්තරයෙන් බිහි කළ ඉතියෝපියාවයි. 1993 ඔක්තෝබර් 01 වැනිදා ඉතියෝපියාවේ Adama හිදී ඇය උපත ලැබුවා.

නමුත් ඉතියෝපියාවේ දී දැඩි අභියෝගවලට සහ දුෂ්කරතාවලට මුහුණපෑමට සිදු වූ ඇයගේ කුඩා කාලය එතරම් සුන්දර එකක් වුනේ නැහැ. එම නිසා ඇයට වයස අවුරුදු 15ක් වන විට සිය පවුල සමඟ ඔවුන් නෙදර්ලන්තයට පිටත් වුනේ සරණාගතයින් ලෙසයි.

නෙදර්ලන්තයේ සරණාගත තත්වය ලැබූ Sifan Hassan තවත් රැකවරණය ලබන්නන් සමඟ ජීවත් වෙමින් ක්‍රීඩා පුහුණුවීම් කරන්නට වුනා. හරිහැටි පුහුණුවීමට පහසුකම් නොතිබූ ඇයට තිබුණේ පැරණි පාවහන් යුගලයක් විතරයි.

තමන්ට ඇති සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් දැඩි කැපවීමෙන් පුහුණුවීම් කටයුතු සිදු කළ ඇය සිය වෘත්තීය ජීවිතය ද ඉහළට ගෙන එමින් නෙදර්ලන්තයේ හෙද නිලධාරිණියක ලෙස පත්වීම් ලැබුවා.

සරණාගත තත්වය යටතේ ක්‍රීඩා හැකියාවන් ඉතා ඉක්මනින් දියුණු කර ගත් Sifan Hassan 2011 වසරේ පැවති Eindhoven half marathon තරගය මිනිත්තු 77:10ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කරන්නට සමත් වෙනවා.

එම ජයග්‍රහණයෙන් පසුව දිගින් දිගටම දිගුදුර සහ මැදිදුර ඉසව්වන්හී දස්කම් දැක්වූ Hassanගේ ක්‍රීඩා දිවියට නව ජවයක් ගෙන දෙමින් ඇයට නෙදර්ලන්තයේ පුරවැසිභාවය හිමි වුනා. ඇය නෙදර්ලන්තය නියෝජනය කරමින් සහභාගී වූ පළමු තරගාවලිය වූයේ 2013 වසරේ පැවති යුරෝපා රට හරහා දිවීමේ ශූරතාවයි.

එහි වයස අවුරුදු 23න් පහළ තරගය නියෝජනය කළ Hassan එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එම නිසාවෙන් නෙදර්ලන්ත කණ්ඩායමට එම තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගන්නට හැකි වුනා.

Sifan Hassan (මැද) 2013 යුරෝපා රට හරහා දිවීමේ තරගාවලිය අතරතුර

එතැන් පටන් නෙදර්ලන්ත කාන්තා මැදි දුර සහ දිගුදුර තරග ආකෘති සිය ආධිපත්‍යට ගත් Hassan 2014 වසරේ පැවති තරගාවලියක දී මීටර් 1500 ඉසව්ව මිනිත්තු 4:05.34ක කාලයකින් අවසන් කරමින් එහි ජාතික වාර්තාව බිඳ හෙළුවා.

එම දස්කම් නිසා 2015 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 1500 ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ Hassan එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනේ එම ඉසව්වේ ලෝක පදක්කමක් දිනූ දෙවැනි නෙදර්ලන්ත ක්‍රීඩිකාව ලෙස ද ඉතිහාසයට එක්වෙමිනි.

සිය ක්‍රීඩා දිවියේ ඉහළම සිහිනයක් වූ ගිම්හාන ඔලිම්පික් උළෙලකට සුදුසුකම් ලබා ගැනීමේ සිහිනය සැබෑ කරගනිමින් 2016 දී ඔලිම්පික් වරම් දිනා ගැනීමට ඇය සමත් වූවත් මීටර් 1500 ඉසව්ව පස්වැන්නා ලෙස අවසන් කිරීම නිසා පදක්කමක් දිනා ගැනීමට ඇයට හැකි වන්නේ නැහැ.

එම පරාජය සිය ක්‍රීඩා දිවියට තවත් ශක්තියක් කර ගත් ඇය 2017 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී දිගුදුර ඉසව්වන්ට ද යොමු වෙමින් මීටර් 5,000 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වන්නේ නව ආරම්භයකට ඉඟි සපයමිනුයි.

එම ජයග්‍රහණයෙන් පසු දිගුදුර ධාවන ඉසව්වන්ට ද විශේෂ අවධානයක් යොමු කළ ඇය 2019 වසරේ Monaco හී පැවති මාර්ග ධාවන තරගයක දී මීටර් 5,000 මාර්ග ඉසව්ව මිනිත්තු 14:44ක කාලයකින් අවසන් කරමින් සිය ක්‍රීඩා දිවියේ පළමු ලෝක වාර්තාව පිහිටුවනු ලැබුවා.

2019 වසර සිය ක්‍රීඩා දිවියේ වටිනාම වසරක් බවට පරිවර්තනය කර ගත් ඇය එම වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 30:17.62ක කාලයකින් අවසන් කරමින් ලෝක කිරුළ දිනා ගැනීමට සමත් වුනා.

Sifan Hassan 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී

එමෙන්ම එම තරගාවලියේ මීටර් 1500 ඉසව්ව සඳහා ද සහභාගී වූ ඇය මිනිත්තු 3:51.95ක කාලයකින් ඉසව්ව අවසන් කර එම ඉසව්ව සඳහා වාර්තා වූ ලොව 6 වැනි හොඳම කාලය වාර්තා කිරීමට සමත් වන්නේ සිය ක්‍රීඩා දිවියේ හොඳම ලෝක ශූරතාවය රන් පදක්කම් ද්විත්වයක් සමඟ අවසන් කරමිනි.

කොරෝනා වසංගතය නිසා 2020 වසරේ එතරම් කැපී පෙනෙන දස්කම් අතර පැමිණීමට ඇයට නොහැකි වූවත් 2021 වසරේ ජුනි මාසයේ Hengelo හී පැවති තරගාවලියක දී මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 29:06.82ක කාලයකින් අවසන් කර එහි ලෝක වාර්තාව පිහිටුවීමට ද ඇයට හැකි වුනා.

නමුත් එම වාර්තාව ඇයට රැකගැනීමට හැකි වූයේ දින දෙකක් පමණක් වන අතර ඉතියෝපියානු ක්‍රීඩිකා Letesenbet Gidey විසින් එම ක්‍රීඩාංගණයේ දී ම මිනිත්තු 29:01.03ක කාලයකින් මීටර් 10,000 ඉසව්ව අවසන් කරමින් Hassanගේ ලෝක වාර්තාව බිඳ හෙළුවා.

සිය ක්‍රීඩා දිවියේ දෙවැනි ඔලිම්පික් උළෙල ලෙස 2020 ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා මීටර් 5,000, 10,000 සහ 1,500 යන ඉසව් තුනෙන්ම සුදුසුකම් ලබා ගැනීමට Hassanට හැකි වුනා.

ඔලිම්පික් උළෙලේ පළමු ඉසව්ව ලෙස මීටර් 1500 මූලික වටයට සහභාගි වූ Hassan තරගය අතරතුර අවාසනාවන්ත ලෙස ඇද වැටුනත්, හැකි ඉක්මනින් නැවතත් තරගයට එක්වීමට ඇයට හැකි වෙනවා.

ඒ අනුව ඉක්මනින් නැවතත් තරගයට අවතීර්ණ වූ ඇය සියලූම ක්‍රීඩිකාවන් අභිබවා මිනිත්තු 4:05.17ක කාලයකින් පළමුවැන්නා ලෙස තරගය අවසන් කරමින් ඉදිරි වටයට සුදුසුකම් ලබා ගන්නේ සියල්ලන් පුදුමයට පත්කරමිනුයි.

එම ඉසව්වෙන් පැය දෙකකට පමණ පසුව මීටර් 5,000 ඉසව්වේ අවසන් තරගයට ද මුහුණ දුන් ඇය මිනිත්තු 14:36.79ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් ප්‍රබල ක්‍රීඩිකාවන් රැසක් පරදවා රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

Sifan Hassan 2020 ඔලිම්පික් උළෙලේ මීටර් 5000 ඉසව්ව ජයගනිමින්

එය දිගුදුර ධාවන ඉසව්වක දී නෙදර්ලන්ත ක්‍රීඩිකාවක් දිනා ගත් පළමු ඔලිම්පික් පදක්කම ලෙස ද ඉතිහාසයට එක්වූ අතර 2000 වසරෙන් පසු කෙන්යානු හෝ ඉතියෝපියානු ක්‍රීඩිකාවක් නොවී එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් පළමු ක්‍රීඩිකා ලෙස ද ඇය ඉතිහාස පොත් අලුත් කළා.

දිගුදුර ධාවන පිටියේ ලද ජයග්‍රහණයෙන් පසු මීටර් 1500 අවසන් තරගය සඳහා සහභාගී වූ Hassan ඉතියෝපියානු ක්‍රීඩිකා Faith Kipyegon සහ Laura Muirට පමණක් දෙවැනි වෙමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. ඇය එම තරගය අවසන් කළ කාලය ලෙස සටහන් වුනේ මිනිත්තු 2:55.86ක්.

2020 ඔලිම්පික් උළෙලේ සිය අවසන් ඉසව්ව ලෙස මීටර් 10,000 කාන්තා අවසන් තරගයට සහභාගී වූ Sifan Hassan එම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ඉතියෝපියානු ක්‍රීඩිකා Letesenbet Gidey ඇතුළු ප්‍රබලයන් රැසක් පරදවා මිනිත්තු 29:55.32කින් තරගය අවසන් කළේ තරගාවලියේ දෙවැනි රන් පදක්කම සිය මල්ලට එක්කරමිනුයි.

Sifan Hassan 2020 ඔලිම්පික් උළෙලේ මීටර් 10000 ඉසව්ව ජයගනිමින්

එම ජයග්‍රහණයත් සමඟ එක් ඔලිම්පික් උළෙලක දී මීටර් 1500, 5000 සහ 10,000 යන ඉසව්වන් ත්‍රිත්වයේම පදක්කම් දිනා ගත් එකම ක්‍රීඩිකාව වීමට ද ඇයට හැකි වුනේ අභියෝග රැසක් පරදවමින් සිය ක්‍රීඩා දිවියේ ඉහළටම පැමිණෙමිනුයි.

මම හිතන්නේ අපි සෑමදෙනාගෙන් කාටවත් අංගසම්පූර්ණ ජීවිතයක් නැහැ. ජීවිතය දුෂ්කර වුනාම ඔබ කවදාවත් නොදැකපු විදියට ඔබව දකින්න ගන්නවා. කවදාවත් අතහරින්න එපා” – Sifan Hassan

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<