තරුණ ක්‍රීඩකයින්ට අභියෝග කරමින් හර්බජාන් නැවතත් කණ්ඩායමට?

123

වසර ගණනක් මුළුල්ලේ ඉන්දියානු දඟපන්දු බලඇණියට නායකත්වය ලබා දෙමින් නම් දැරූ සුපිරි පිතිකරුවන් බොහෝ දෙනෙකු තම දූස්රා පන්දුව ඉදිරියේ අසරණ කළ හර්බජාන් සිං නැවත වතාවක් ජාතික වර්ණයන්ගෙන් සැරසී ක්‍රීඩා කිරීමට මාන බලමින් සිටින බව කියැවෙන පුවතක් ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කිහිපයක්ම ඊයේ (25) දිනයේ දී සඳහන් කොට තිබුණි.

නීති විරෝධි වැඩ කළ ක්‍රීඩකයාට ක්‍රිකට් තහනම්

2016 වසරේ දී අවසන් වරට අන්තර්ජාතික ක්‍රිකට් තරගයක් සඳහා දායකත්වය ලබා දී ඇති හර්බජාන් ඉන් අනතුරුව ද තම සුපුරුදු දක්ෂතා ප්‍රදර්ශනය කරමින් කඩුලු අතර රැඳී සිටීමට සමත් වූයේ ඒ සඳහා ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය ඔහුගේ ප්‍රධාන වේදිකාව බවට පත්කර ගනිමිනි. මුම්බායි ඉන්ඩියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් දෙක නියෝජනය කරමින් ගෙවුණු වසර කිහිපය පුරාවටම තරගාවලියේ කොටස්කරුවකු බවට පත්වීමට ඔහුට හැකි විය.

වයස යනු හුදෙක් ඉලක්කම් කිහිපයක එකතුවක් පමණක් බව සනාථ කරමින් යොවුන් ක්‍රීඩකයින් සමඟ කරට කර සටනක නියැලෙන හතළිස් හැවිරිදි හර්බජාන් හට පසුගිය IPL තරග වාරයේ දී කඩුලු 8ක් බිඳ හෙළීමට අවශ්‍ය වූයේ තරග 5ක් පමණි. IPL ඉතිහාසය පුරාවට තරග 160කට සහභාගී වෙමින් ප්‍රතිවාදී කඩුලු 150ක් දවාලීමට හර්බජාන් සමත් වී තිබෙන අතර ලකුණු 18කට පිතිකරුවන් 5දෙනෙකු නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යවමින් චෙන්නායි කණ්ඩායමට එරෙහිව 2011 දී තම පෞද්ගලික හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ද ඔහු සමත්කම් දැක්විය.

ලොව සුපතල ක්‍රීඩකයින් රැසක් එකම තරග බිමක දී මුණ ගැසෙන තරගකාරීත්වයෙන් ඉහළ ඉන්දියානු ප්‍රිමියර් ලීගය බොහෝ දක්ෂ යොවුන් ක්‍රීඩකයින් හට ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමට තෝතැන්නක් බවට පත්වෙද්දී අත්දැකීම් බහුල හර්බජාන් එම අවස්ථාව යොදා ගැනීමට සූදානම් වන්නේ නැවත වතාවක් තමන්ට සුපුරුදු ජාත්‍යන්තර තරග පිටියට අවතීර්ණ වීම සඳහායි. ඒ අනුව තමන්  එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා දැඩි ඕනෑකමින් පසුවන බව හර්බජාන් ESPN Cricinfo වෙබ් අඩවියට අදහස් දක්වමින් සඳහන් කොට තිබුණි.

පන්දුව ඔප දාන්න ඛේටය භාවිතා කිරීම සදාකාලික තහනමක් ද?

“IPL කියන්නේ ගොඩක් වෙලාවට පිතිකරුවන්ගේ තරගාවලියක්. ක්‍රීඩාංගණත් වෙනත් රටවල් එක්ක සන්සන්දනය කරාම කුඩා නිසා පිතිකරුවොන්ට හතරේ සීමාවට එහායින් පහරක් එල්ල කරන්න වැඩි ආයාසයක් දරන්න ඕන නැහැ. ඒ වගේම ලෝකයේ දැනට ඉන්න දක්ෂතම ක්‍රීඩකයෝ ගොඩක් දෙනෙක් මේ තරගාවලියට සහභාගී වෙනවා. ඉතින් පන්දු යවන්නෙක්ට සාර්ථක වෙන්න ලේසියෙන් ඉඩක් නැහැ.”

“නමුත් මම පෙන්නලා තියෙනවා විශේෂයෙන්ම දඟපන්දු යවන්නෙක්ට කැපවීම සහ උනන්දුව තියෙනවා නන් IPL හෝ ජාත්‍යන්තර තරග වේවා පහසුවෙන්ම සාර්ථකත්වය කරා ළඟා වෙන්න පුළුවන්. පහුගිය IPL තරගාවලියේ දී මම දක්වපු දක්ෂතාත් සැලකිල්ලට ගත්තම හොඳ විශ්වාසයක් තියෙනවා නැවත වතාවක් ජාතික කණ්ඩායමේ ස්ථානයක් වෙනුවෙන් තරග කරන්න පුළුවන් කියන එක. විශේෂයෙන්ම Powerplay සහ මැද පන්දුවාර වලදී කඩුලු දවා ගන්න එක ලේසි නැහැ. මම ඒ දේ දිගටම කරලා පෙන්නුවා. අපි බලමු ඉදිරියෙදි මොකද වෙන්නෙ කියලා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<