Suryakumarගේ සාර්ථකවය පිටුපස ප්‍රබල ශ්‍රී ලාංකිකයෙක්

175

Mumbai Indians වෙනුවෙන් පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රබල කාර්‍යභාරයක් ඉටුකිරීමට Suryakumar Yadav සමත් වුනා. සිය පිතිකරණ හැකියාව දියුණු කරගැනීමට හිටපු ශ්‍රී ලංකා නායක සහ වත්මන් Mumbai Indians පුහුණුකරු මහේල ජයවර්ධනගේ ගුරුහරුකම් ඉවහල්වූ බව Suryakumar Yadav පසුගිය දා සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබෙනවා.

පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල කැපී පෙනෙන දස්කම් දැක්වීමට නවක ඉන්දීය ක්‍රීඩකයන් කීපදෙනෙකු සමත් වුනා. ඉන් Suryakumar Yadavට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. 

Powerplay පන්දුවාර තුල ලකුණු ලබා ගැනීමට ඉවහල් වන උපදෙස් රැසක් තමන්ට මහේල ජයවර්ධනගෙන් ලැබුණු බව Suryakumar Yadav එහි දී පවසා තිබුණා.

Suryakumar Yadav මුලින්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන්නේ 2018 වසරේ දීයි. ඒ Kolkata Kinght Riders කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙකු ලෙසයි. ඉන් අනතුරුව Mumbai Indians කණ්ඩායමට එක්වන ඔහු එහි දී මුල්පෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීම ආරම්භ කළා. කෙසේ වෙතත් මුල්පෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ මුල් අවධියේ දී තමන්ට එය විශාල අභියෝගයක් වූ බව Suryakumar Yadav පවසා සිටියා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව 2018 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අතරතුර තමන් පිතිකරණය පිළිබඳව පුහුණුකරු වන මහේල ජයවර්ධනගෙන් උපදෙස් ලබා ගත් බව Suryakumar Yadav සිහිපත් කළා. එහි දී Powerplay පන්දුවාර තුළ දී පන්දු රකින්නන් නොමැති ස්ථානවලට පන්දු යොමු කරමින් කෙටි ලකුණු ලබා ගැනීමට මහේල ඔහුට උපදෙස් දී තිබෙනවා. 

“2019 තරගාවලිය අතරතුර ඔහු මාත් එක්ක ඉඳගෙන මට ඒ සියල්ල කියලා දුන්නා. Powerplay එකේ දී මොකද කරන්න ඕනේ, Powerplay එකට පස්සේ අපි කොහොමද ලකුණු ගහන්න ඕනේ කියලා ඔහු මට පැහැදිලි කලා. මට ඕන වුණේ මම ඒ වෙද්දී කණ්ඩායම දුන්න දායකත්වයට වඩා වැඩි දෙයක් ලබාගන්න. ඔහු ඒ වෙනුවෙන් මගේ සුළු සුළු දේවල් වෙනස් කළා. මට කිව්වා මගේ පිතිකරණය රඳා පවතින්නේ මම මත කියලා. ඔහු මට තවත් දෙයක් කිව්වා. Powerplay එකෙන් පස්සෙ ක්‍රීඩා කරන වෙලාවට gaps වලට පන්දුව යොමුකරලා ලකුණු 2 බැගින් ලබා ගන්න කියලා. කඩුලු අතර දුවද්දී වේගයෙන් දුවන්න උපදෙස් දුන්නා. ඔහු මට කිව්වා එහෙම කලාම මගේ strike rate එකත් ඉහල යාවි කියලා. මම ඔහුගේ උපදෙස් වලට අනුව තමයි ක්‍රීඩා කළේ” Indian Express පුවත්පත සමඟින් එක්වූ සාකච්ඡාවක දී Suryakumar Yadav පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

ප්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කිරීම සඳහා තමන් සියලු අඩුපාඩු නිවැරදි කර ගැනීමට වෙහෙස වූ බවත්, Suryakumar Yadav සිහිපත් කර සිටියා. පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල Mumbai Indians වෙනුවෙන් ලකුණු යන්ත්‍රයක් බවට පත්වූ Suryakumar Yadav වේගපන්දු යවන්නන්ට සහ දඟපන්දු යවන්නන්ට විශාල අභියෝගයක් බවට පත්වුනා.

දඟපන්දු යවන්නන් හමුවේ ඔහුගේ ප්‍රියතම සහ ප්‍රබලම පහර වූයේ sweep පහරයි. එමඟින් විශාල ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමට ඔහු සමත් වුනා. ඒ පිළිබඳව අදහස් දක්වමින් Suryakumar Yadav පවසා සිටියේ තමන් කුඩා කල සිටම දඟ කැවෙන ඉන්දීය තණතීරු වල එම පහර පුහුණු වූ බවයි. 

“මගේ sweep පහර මම හැමවෙලේම එල්ල කරනවා. මම කුඩා කාලේ පුහුණු වුනේ විශාල දඟ කැවීමක් තියන ක්‍රීඩාංගණවල. ඒ වෙලාවල මට ලකුණු ලබා ගන්න වෙනස් පහරවල් වලට යන්න සිදු වුනා. ඒ නිසා අවු10-15 ඉඳන් මම sweep පහර එල්ල කරන්න පුහුණු වුනා. හෙමින් සහ ස්ථාවරව පහර එල්ල කරන්න මට පුළුවන් වුනා. ඒක හැමවෙලේම එල්ල කරද්දී මට ඒක පුරුද්දක් වුනා.” 

පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල Suryakumar Yadav තරග 16ක් ක්‍රීඩා කරමින් ලකුණු 480ක් වාර්තා කර තිබුණා. 

සමස්ත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසය තුල Suryakumar Yadav තරග 101කට ක්‍රීඩා කර තිබෙනවා. එහි දී ඔහු වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 2024ක්. සිය ලකුණු පුවරුවට අර්ධ ශතක 11ක් එක් කරගැනීමට ඔහු සමත්ව තිබෙනවා. 

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් මස 09 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<