කොරෝනා බිය මැද IPL තවදුරටත් ඉදිරියට

600

ඉන්දියාවේ Maharashtra ප්‍රාන්තයට වැඩි බලපෑම් එල්ල කරමින් නැවත හිස එසවූ කොරෝනා වසංගතය හේතුවෙන් එම ප්‍රාන්ත බලධාරීන් සංචරණ නීති පැනවූවත් මෙවර IPL තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් ඊයේ (04) මුම්බායි නගරයේ ස්ථාන කිහිපයක පුහුණුවිම් කටයුතු සිදුකර තිබුණා.

කොරෝනා ආසාදන වාර්තා වීම් දැඩි ලෙස ඉහළ යාම නිසාවෙන් Maharashtra ප්‍රාන්ත රජය දැඩි සීමා පැනවීමට ඊයේ තීරණය කළ අතර සිකුරාදා රාත්‍රී 8 සිට සඳුදා උදෑසන 07 දක්වා ප්‍රාන්තය වසා දැමීමට ද ඔවුන් තීරණය කර ඇත.

සඳුදා රාත්‍රියේ සිට එම ප්‍රාන්තයේ සියලුම ක්‍රීඩා පිටි, සමාජ ශාලා, පිහිනුම් තටාක සහ ක්‍රීඩා සංකීර්ණ වසා දැමීමට නියෝග කර ඇති අතර පනවා ඇති දැඩි නීති නිසා දේශීය ක්‍රිකට් තරගාවලි ද නතර කිරීමට සිදුව තිබේ.

Maharashtra ක්‍රිකට් සංගමය විසින් නව සෞඛ්‍ය නිර්දේශ බලාපොරොත්තුවෙන් සිටින අතරවාරයේ දී එම ප්‍රාන්ත පාලක මණ්ඩල සාමාජිකයන් විසින් මැයි පළමු සතිය වන තුරු සියලූම දේශීය තරගාවලි නොපවත්වන ලෙස ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව Maharashtra ක්‍රිකට් සංගමය විසින් මේ දිනවල පවත්වනු ලබන Comrade Shield සහ Kanga League යන තරගාවලි තාවකාලිකව අත්හිටුවීමට ද සිදු වනු ඇත.

ඊයේ Punjab Kings විසින් අන්තර් සංචිත පුහුණු තරගයක් මුම්බායි ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර Delhi Capitals විසින් සවස් වරුවේ දී එම ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කටයුතු සිදු කළා.

එමෙන්ම Chennai Super Kings සහ Kolkata Knight Riders විසින් Navi Mumbai හී ක්‍රීඩාංගණ දෙකක් කේන්ද්‍ර කරගනිමින් පුහුණුවීම් කටයුතු සිදුකර තිබුණා.

ක්‍රීඩාංගණ නිලධාරීන් හට කොරෝනා පරික්ෂා සිදු කිරීම නිසාවෙන් වසා දැමුණු Cricket Club of India හී Rajasthan Royals ක්‍රීඩකයන් සිය පුහුණුවීම් කටයුතු සිදු කළ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් Cricket Club of India බලධාරීන් ප්‍රකාශ කර සිටියේ,

“Rajasthan Royals හෝ වෙනත් කණ්ඩායම් සිටින්නේ ජෛව ආරක්ෂිත බුබුලක නිසා ඔවුන් සේවකයන් සමඟ සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට කිසිදු බාධාවකින් තොරව පහසුකම් භාවිතා කරන්න පුළුවන්” යනුවෙනුයි. 

අප්‍රේල් 9 වැනිදා ආරම්භ වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය Chennai, Bengaluru, Mumbai, Delhi, Kolkata සහ Ahmedabad යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර කොරෝනා වසංගතය නිසාවෙන් සියලූම කණ්ඩායම් එම නගරයන් තුළ ජෛව ආරක්ෂිත බුබුළු ගොඩනගා ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

මෙවර තරගාවලියට සහභාගි වන Delhi Capitals ක්‍රීඩක Axar Patel සහ Royal Challengers Bengaluru ක්‍රීඩක Devdutt Padikkal හටත් මුම්බායි හී Wankhede ක්‍රීඩාංගණයේ සේවකයන් කිහිපයකටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පසුගිය දා තහවුරු වුනා.

එමෙන්ම මුම්බායි හී ක්‍රිකට් සංගම් කිහිපයකම නිලධාරීන් හා ක්‍රීඩාංගණ සේවකයන් හට කොරෝනා ආසාදනය වූ නිසා එම සංගම් සහ ක්‍රීඩාංගණ වසා දැමීමට ද කටයුතු කළා.

එම නිසාවෙන් පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී අනුගමනය කළ දැඩි නීති රීති මෙවරත් අනුගමනය කරන බව ද කණ්ඩායම් සම්බන්ධීකරණ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියා.

සියලූම සංචරණ සීමා පනවා තිබුණ ද ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් සිය පුහුණුවීම් අඛණ්ඩව සිදු කිරීමට නියමිත අතර Delhi Capitals සහ Chennai Super Kings කණ්ඩායම් බදාදා (07) Wankhede ක්‍රීඩාංගණයේ දී සිය පුහුණුවීම් සිදු කිරීමට සැලසුම් කර තිබේ.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<