සුරේන්, රන්සිළු සහ ශෙනුකි ආසියානු ශූරතා දිනයි

ආසියානු සවි එසවීමේ ශූරතාවය 2021

211

ආසියානු සවි එසවීමේ සංගමය සහ තුර්කි සවි එසවීමේ සංගමය සමඟ එක්ව සංවිධානය කළ ආසියානු සවි එසවීමේ ශූරතාවයේ දී ඉහළ දස්කම් දක්වමින් ආසියානු ශූරතා දිනා ගැනීමට සුරේන් පෙරේරා, රන්සිළු ජයතිලක සහ ශෙනුකි දිශාල්‍යා පසුගිය සමත්ව තිබුණා.

එහි පිරිමි කිලෝග්‍රෑම් 59 බර පන්තිය යටතේ විවෘත කාණ්ඩයෙන් තරග වැදුණු සුරේන් පෙරේරා Bench-press, Deadlift ඉසව් හි රන් පදක්කම සහ Squat ඉසව්වේ රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වුනා.

එම දස්කම් නිසාවෙන් ඔහු එම කාණ්ඩයේ සමස්ත රන් පදක්කම දිනා ගනිමින් ඉන්දීය සහ ජපාන ක්‍රීඩකයින් පරාජය කරමින් ආසියානු ශූරතාව දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ආසියානු පිටියේ මීට පෙර ද ඉහළ දස්කම් දැක්වීමට සමත්ව තිබූ රන්සිළු ජයතිලක මෙවර තරගාවලියේ ද සිය සුපුරුදු දස්කම් අතරට පිවිසීමට සමත් වෙමින් පස්වැනි වරටත් ආසියානු ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා.

පිරිමි විවෘත අංශය නියෝජනය කරමින් තරග වැදුණු රන්සිළු ජයතිලක එහි රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ජයග්‍රහණය කරමින් එම ආසියානු ශූරතාවය දිනා ගත්තා.

තරගාවලියේ කැපී පෙනෙන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වූ ශෙනුකි දිශාල්‍යා කාන්තා කිලෝග්‍රෑම් 47 බර පන්තිය යටතේ තරග වැදුණු අතර එහි දී ඇය විසින් Dead Lift (කිලෝග්‍රෑම් 105), Bench Press (කිලෝග්‍රෑම් 42) සහ Squat (කිලෝග්‍රෑම් 85) ඉසව් ත්‍රිත්වයෙන් රන් පදක්කම් 3ක් සහ කිලෝග්‍රෑම් 47 බර කාණ්ඩයේ සමස්ත ශූරතාවයට හිමි රන් පදක්කමත් සමඟින් මෙම තරගාවලියේ දී රන් පදක්කම් 4ක් දිනා ගත්තා.

තවමත් 19 වැනි වියේ පසු වන ශෙනුකි මෙම තරගාවලියේ ශූරතාවයක් දිනූ ළාබාලතම ක්‍රීඩිකාව ලෙස ද ඉතිහාස ගත වූ අතර එහි දී සම්පූර්ණ කිලෝග්‍රෑම් 232ක දක්ෂතාවක් දක්වමින් ජාතික වාර්තාව අලුත් කිරීමට ද ඇයට හැකි වුනා.

ඔවුන්ට අමතරව මෙම තරගාවලියේ පිරිමි Master ඉසව්ව සඳහා සහභාගී වූ මෝතිලාල් ජයතිලක රන් පදක්කම් හතරක් සහ චන්දන තිලකරත්න රන් පදක්කමක් සහ රිදී පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් වූ අතර සමස්ත තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්ව තිබුණා.

Asian classic – Equipped Bench Press and Powerlifting Championships තරගාවලියේ දී ඉහළ දස්කම් දක්වමින් ලක්මාතාවට ගෞරවයක් ගෙන දුන් සියලූම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ThePapare.com අපගේ උණුසුම් සුබ පැතුම්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<