Dhaka මැරතන් තරගයට ශ්‍රී ලංකාවෙන් 4ක්

Sheikh Mujibur Rahman Dhaka Marathon 2022

170

බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත The Bangabandhu Sheikh Mujibur Rahman Dhaka Marathon 2022 මැරතන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනයි කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගී කරවීමට නියමිතයි.

හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයෙකු වන Sheikh Mujibur Rahma අනුස්මරණය කරමින් ඔහුට ගෞරවයක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ 2022 අදියර ද පෙර පරිදි ජනවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.

පසුගිය දා කතරගම දී පැවති 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම Dhaka මැරතන් තරගයට යොමු කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පසුගිය කාලසීමාවේ දී මෙරට මැරතන් සහ අර්ධ මැරතන් ඉසව්වල දී ඉහළ දස්කම් දක්වමින් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූ වේලු ක්‍රිෂාන්ති ක්‍රීඩිකාව සහ මුත්තුසාමි සිවරාජන් ක්‍රීඩකයා මෙම තරගාවලියට ඇතුළත් කර තිබෙනවා.

සිවරාජන් කතරගම දී පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයේ පිරිමි ඉසව්ව පැය 2:29.29ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර පසුගිය දා පැවති ජාතික මලල ක්‍රීඩා උළෙලේ දී ඔහු මීටර් 10,000 සිව්වැන්නා ලෙස අවසන් කළා.

46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා මැරතන් ඉසව්ව පැය 2:55.30ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට වේලු ක්‍රිෂාන්තිට හැකි වුනා.

මේ වන විට 33 වන වියෙහි පසු ක්‍රිෂාන්ති මැරතන් පිටියේ ඉතාමත් පළපුරුද්ද ඇති ක්‍රීඩිකාවක් වන අතර ඇය 2017 වසරේ දී චීනයේ පැවති මැරතන් තරගයකට සහභාගි වෙමින් 17 වැන්නා ලෙස තරගය අවසන් කළා.

එම තරගයට අමතරව ඇය 2017 වසරේ දී චීනයේ සහ ඩුබායි නුවර දී පැවති විවෘත මැරතන් තරග දෙකකට සහභාගී වෙමින් පිළිවෙළින් 4 වැනි සහ 15 වැනි ස්ථාන දිනා ගැනීමට සමත්ව තිබුණා.

එමෙන්ම ධාවන පථ ඉසව්වන්ගේ ද දස්කම් දැක්වූ ඇය නිමා වූ 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 10,000 ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර මීටර් 5,000 තරගයේ සිව්වැනි තැන දිනා ගත්තා.

වේලු ක්‍රිෂාන්ති සහ මුත්තුසාමි සිවරාජන්ට අමතරව තිස්ස ගුණසේකර සහ වත්සලා හේරත් මෙම Dhaka මැරතන් තරගයට නම් කර තිබෙනවා.

තිස්ස ගුණසේකර 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලෙ පිරිමි මැරතන් තරගය පැය 2:32.14ක කාලයකින් අවසන් කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වෙද්දී, කාන්තා ඉසව්ව පැය 2:57.15ක කාලයකින් අවසන් කළ වත්සලා එහි රිදී පදක්කම් දිනා ගත්තා.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<