දෝණි ඉන්නේ හදවතේ!

885

“ඔහුගෙන් පසුව වෙනත් කිසිම ක්‍රීඩකයකු අංක 7 ජර්සිය පැලඳ ක්‍රීඩා කරන අයුරු මට හිතින් මවා ගන්නවත් බැහැ. ඔබ දුන් සියලු නොමැකෙන මතකයන් වෙනුවෙන් ස්තුතියි!”

ඉන්දියාවෙන් බිහි වුන දක්ෂ පිතිකරුවෙක් සහ පන්දු රකින්නෙක් ලෙස නම් දරාපු Mohommed Kaif විසින් මේ විදිහේ ප්‍රකාශයක් සිදු කරන්නේ Mahendra Singh Dhoni සිය ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවියේ නිමාව සනිටුහන් කරපු දවසේ.

Mohommed Kaif ඉන්දීය ජාතික කණ්ඩායමට එන්නේ ඉන්දීය ක්‍රිකට්වල අනාගත පරම්පරාව විදිහට ලැබුණු පෙරැයීම් රැසක් මැද්දෙන්. එහෙම ආපු Kaifලට 2006න් විතර පස්සේ ඉන්දීය ජාතික කණ්ඩායමේ ඉඩක් නැත්තට ම නැති වෙලා යනවා.

හැබැයි Kaifලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එන කාලයේ දී දුම්රිය ටිකට් පරීක්ෂකවරයෙක් විදිහට රැකියාව කරන ගමන් ක්‍රිකට් සෙල්ලම් කරපු MS Dhoni, Kaifගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය නතර වෙන තැන වෙද්දී ඉන්දීය කණ්ඩායමේ නායකයා බවට පත් වෙන්න පවා සමත් වෙනවා.

MS Dhoni කියන්නේ ඉන්දියාවෙන් බිහි වුනු විශිෂ්ටතම සහ සාර්ථක ම නායකයා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. නායකයෙකුගේ විශිෂ්ට බව මනින්න මිමි නැති වුනත්, සාර්ථකත්වය මනින්න සාපේක්ෂව හොඳ මිම්මක් තමයි ඔහු/ඇය තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණ කරා මෙහෙයවපු තරග ප්‍රමාණය.

2007 වසරේ දී පාකිස්තානයට එරෙහිව විසයි විස්ස ලෝක කුසලානය, 2011 දී ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ලෝක කුසලානය වගේම, 2013 ශූරයින්ගේ කුසලානයත් ඉන්දියාව දිනා ගන්න සමත් වෙන්නේ MS Dhoniගේ නායකත්වය යටතේ. ඒ වගේම 2014 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයටත් සුදුසුකම් ලබන්න ඉන්දියාව සමත් වෙන්නේ Dhoniගේ නායකත්වය යටතේමයි.

ICCය විසින් පවත්වන ප්‍රධාන පෙළේ ශූරතාවලි ත්‍රිත්වය ම (ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවය ආරම්භ වුනේ බොහොම මෑත කාලයක දී නිසා එය නොසලකා හැර ඇත.) ජයග්‍රහණය කරා මෙහෙයවන්න සමත් වුන ලොව එක ම නායකයා විදිහට MS Dhoniව හඳුන්වලා දෙන්න පුළුවන්.

අපිට කෙනෙක් කියන දෙයක් පිළිගන්න බැරි වුනත්, දත්ත මගින් තහවුරු වෙන සමහර කරුණු නොසලකා හරින්න නොහැකි නිසා ම Dhoniගේ මේ සාර්ථක නායකත්වය ඇගයීමට ලක් කළ යුතු බව මගේ පෞද්ගලික හැඟීමක්.

ඒ වගේ ම මේ වෙද්දී 16 වැනි වරට පැවැත්වෙන IPL තරගාවලි ඉතිහාසයේ අවස්ථා 9ක දී තමන් විසින් නායකත්වය දරපු (Chennai Super Kings) කණ්ඩායම අවසන් මහා තරගය වෙත රැගෙන එන්න වගේ ම, ඉන් අවස්ථා හතරක IPL ශූරතාව හිමි කර ගන්නත් MS Dhoniගේ නායකත්වයට හැකියාව ලැබෙනවා.

අන්න ඒ Dhoniව විවිධ ක්ෂේත්‍ර ඇතුළේ සෑහෙන්න ඇගයීමටත් ලක් වෙනවා. ක්‍රිකට් විතරක් ම නෙවෙයි, ක්‍රිකට් වලින් එහාට ගිහින් කලාව, දේශපාලනය සහ සමාජීය වශයෙනුත් බොහෝ තැන් වල දී Dhoni කියන්නේ ආදර්ශමත් චරිතයක් විදිහට පිළිගැනෙනවා.

ඒ නිසා ම අපි හීනෙන්වත් නොහිතන මිනිස්සු පවා Dhoniට තමන්ගේ ගෞරවය පුද කරනවා.

ඒ වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් ළඟම උදාහරණය තමයි 2023 IPL තරගාවලියේ සමාරම්භක උළෙලට සහභාගී වුන Arjith singh විසින් තමන්ගේ ඉදිරිපත් කිරීමෙන් පසුව Dhoniගේ දෙපා නැමද ආශීර්වාද ලබා ගැනීම.

Arjith singh කියන්නේ වර්තමානයේ ඉන්දියාවේ සිටින විශිෂ්ටතම ගායකයින්ගෙන් කෙනෙක්. දෙව ආශීර්වාද ලබමින් ගායනා කරන බව මිනිස්සු විශ්වාස කරන අයගෙන් කෙනෙක්. එහෙම කෙනෙක් Dhoniගේ දෙපාමුල වැටෙන තරම් ගෞරවයක් ඉන්දියාවෙන් Dhoniට හිමි වෙනවා.

මම ක්‍රීඩා කළේ Dhoni වෙනුවෙන්!

ඉන්දියාවෙන් බිහි වුන තවත් විශිෂ්ටතම මැදපෙළ පිතිකරුවෙක් තමයි Suresh Raina කියන්නේ, ඒ වගේ ම MS Dhoni සමඟ Chennai Super Kings කණ්ඩායම නියෝජනය කරපු තවත් IPL පුරාවෘත්තයක් විදිහටත් Rainaව හඳුන්වලා දෙන්න පුළුවන්. ඔහු IPL වල දී මොන තරම් සාර්ථක ද කියන්න හොඳම උදාහරණය තමයි ඔහුට හිමි වෙලා තියෙන Mr.IPL කියන අන්වර්ථ නාමය.

මේ වෙද්දී වැඩිම IPL ලකුණු ලාභියා වෙලා ඉන්න Kohli වෙනුවට Rainaට ඒ විදිහේ ඇගයීමක් ලැබෙන්න තරම් දේවල් ඔහු IPL ඉතිහාසයේ දී කරන්න සමත් වෙලා තියෙනවා. ඒ හැම වෙලාවක ම වගේ ඔහුගේ නායකයා වෙන්නේ MS Dhoni. ඒ වගේ ම Raina විසින් ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ බොහෝ තරගවල දීත් ඔහුගේ නායකයා වෙන්නේ Dhoni ම තමයි.

Dhoni ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන්න තීරණය කරන්නේ 2014 දෙසැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාව සමග පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී. එදා තමන්ගේ පළවෙනි ටෙස්ට් තරග සංචාරයට සහභාගී වුන Axar Patel විසින් Dhoniගේ සමුගැනීම ප්‍රකාශ කරපු අතීත මතකය නැවත මතකාවර්ජනය කරන්නේ මේ විදිහට.

“මෙල්බර්න් වල තිබුණ Boxing Day ටෙස්ට් තරගයේ දෙවන දවසේ දී ඔහු ඒ බව නිවේදනය කළා. ක්‍රීඩාගාරයේ වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. හැමෝම නිශ්ශබ්ද වුනා. Ravi සර් (Ravi Shastri) රැස්වීමට ආවා.

‘ හැමෝම….අපිට නිවේදනයක් නිකුත් කරන්න තියෙනවා. Mahi විශ්‍රාම යනවා.’

Raina (Suresh) හඬන්න පටන් ගත්තා. මම මොකක් ද ඒ වුනේ කියලා කල්පනා කරන්න ගත්තා. මගේ වටේ හිටපු හැමෝගෙම ඇස්වල කඳුලු පිරිලා තිබුණා. මම නිකම් වෙන ම ලෝකයකට ගියා වගේ.”

Axar තමන්ගේ අතීත මතකය හාරා අවුස්සන්නේ ඒ විදිහට.

“අපි දෙන්නා ගොඩක් තරග එකට ක්‍රීඩා කළා. මම ඔහුගේ යටතේ ඉන්දියාවට වගේ ම CSK වලටත් ක්‍රීඩා කරන්න වාසනාවන්ත වුනා. අපිට ලොකු ආදරයක් හිමි වුනා. මම ආවේ Ghaziabad වලින්, Dhoni ආවේ Ranchi වලින්.

මම ක්‍රීඩා කළේ Dhoni වෙනුවෙන්, ඊට පසුවයි මම ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළේ.”

තමන්ගේ නායකයා ගැන ඒ විදිහේ අදහසක් තියා ගෙන හිටපු Rainaගේ ඇස්වලින් එදා කඳුලක් වැටුණ එක පුදුමයට කරුණක් නෙවෙයි!

ඒ වගේ ම මේ දෙන්නා ම තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයේ නිමාව සටහන් කරන්නෙත් එකම දවසක. 2020 අගෝස්තු 15 වැනිදා Dhoni සහ Raina යුගලය ම ක්‍රීඩාවට සමුදෙන බව නිවේදනය කරායින් පස්සේ එකිනෙකා වැළඳගෙන කඳුළු සැලුව බවත් Raina විසින් පසු කාලයක දී මතක් කරනවා.

“මගේ මරණ මංචකයේ දී මට දකින්න අවශ්‍ය අවසාන දේ තමයි 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී MS Dhoni එල්ල කරන අවසන් හයේ පහර.”

1983 ලෝක කුසලානය ජයග්‍රහණය කරපු ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා හිටපු Sunil Gavaskar තමයි ඒ විදිහට Dhoni ගැන කියන්නේ.

ඒ වගේ ම කාලයක් ඉන්දියානු කණ්ඩායමේ පුහුණුකරු විදිහට වැඩ රාජකාරි කරපු Gary Kirsten එක තැනක දී කියනවා ” මම මගේ පසෙකින් Dhoniව තබා ගෙන යුද්ධයකට වුනත් යනවා.” කියලා.

බොහෝ දෙනෙක් Dhoni පිළිබඳ ව මේ වගේ සෑහෙන්න තරම් අගය කිරීම්, ආදරණීය මතකයන් සහ හැඟීම් වරින් වර ප්‍රකාශ කරනවා.

තරු, පුරාවෘත්ත සහ MS Dhoni

ඉන්දියාව සහ සිනමාව කියන්නේ ඉන්දියාව සහ ක්‍රිකට් කියලා අපි දකින බැඳීමටත් වඩා ගැඹුරු බැඳීමක්. සරලව ම කියනවා නම් ඉන්දියානු සිනමා තරු දේවත්වයෙන් යුතු ව අදහනවා, ඒ අයට පුළුවන් ඉන්දියාවේ සාමාන්‍ය ජනතාවගේ සිතිවිලි වලට සාධනීය බලපෑමක් එල්ල කරන්න.

ඒ විදිහේ සිනමා තරු පවා තමන්ගේ වෘත්තීය ජීවිතයට Dhoniගෙන් විශාල උත්තේජනයක් ලැබුණු බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරනවා.

“වෘත්තීය ක්‍රීඩකයින් විදිහට ඔබ කිසිම දවසක ක්‍රීඩා නොකරන නිසා පිතිකරුවෙක් වෙන්න මග පෙන්වීම් අත්‍යාවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් සමහර පුද්ගලයින්ගේ පෞරුෂය සහ පැවැත්ම මම වැදගත් කොට සලකනවා. මම හිතන්නේ Dhoni සහ Kohli යන දෙදෙනා පිටියට අවතීර්ණ වෙද්දී මට යමක් දැනෙනවා.

මම ඔවුන් සමග සම්බන්ධ වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින් කියන මට්ටමින් නෙවෙයි. මම ඔවුන් සමඟ සම්බන්ධතාව ගොඩ නගා ගන්නේ ඔවුන්ගේ ක්‍රීඩා විලාශය සමඟින්.”

Dhoni වැන්නකු ක්‍රීඩා පිටිය තුල සිටිනු දැකීම පවා තමන්ට උත්තේජනයක් ලබා දෙන බව සුපිරි බොලිවුඩ් නළුවෙක් සහ සිනමාව ඇතුළේ ක්‍රිකට් ක්‍රීඩකයා කියන චරිතයට පණදුන්න Shahid Kapoor විසින් සඳහන් කරනවා.

ඒ වගේ ම MS Dhoniගේ ජීවිත කතාවෙන් කොටසක් M.S. Dhoni: The Untold Story නමින් චිත්‍රපටියක් ලෙස 2016 වසරේ දී තිරගත වූ අතර එහි Dhoniගේ චරිතයට පණ දුන්නේ පසු කාලයක අනපේක්ෂිත සියදිවි නසා ගැනීමක් නිසා ලොව පුරා කතා බහට ලක් වූ Sushant Singh Rajput විසිනුයි.

ඔහු විසින් මේ චිත්‍රපටිය තිරගත වූ කාලයේ දී ම Dhoniව හඳුන්වා දී තිබුණේ සිහින හඹා යන්නෙකු ලෙසයි. එමෙන්ම ඔහු Dhoni පිළිබඳ ව ඉමහත් ගෞරවයකින් යුතු ව කතාබහේ නිරත වන බවත් නිතරම අවධානයට යොමු වුන කාරණයක්.

මෙහේ තරු ඉන්නවා, පුරාවෘත්ත ඉන්නවා ඊට අමතරව Mahendra Singh Dhoni ඉන්නවා. පිටියේ දී සහ ඉන් පිටත දී මට තරුවක් වග හැඟුණු එකම මිනිසා ඔහුයි.”

MS Dhoniගේ තවත් දරුණු රසිකයකු ලෙස සැලකෙන බොලිවුඩ් නළුවෙක් වන Arjun Kapoor විසින් Dhoniව හඳුන්වා දෙන්නේ ඒ විදිහට.

ඒ වගේ ම MS Dhoniව ඉන්දියාවේ, විශේෂයෙන්ම ඔහුගේ IPL කණ්ඩායම වන CSK රසිකයින් විසින් හඳුන්වන්නේ Thala (තලා – නායකයා) විදිහට. දකුණු ඉන්දියාව ඇතුළේ මේ වගේ ගෞරව නාමයක් පුද්ගලයෙකුට හිමි වෙනවා කියන්නේ ම ඔහු අතිශය විශේෂ චරිතයක් බව ඔප්පු වීමක්.

සුපිරි දකුණු ඉන්දීය නළුවෙක් වන Joshep Vijayව ඔහුගේ රසිකයින් විසින් Thalapathi (තලපති – එහි අදහසත් නායකයාට සමානයි) විදිහට හඳුන්වනවා.

අන්න ඒ තලපතිත් අපේ කතානායකයා වෙන තලා ගේ රසිකයෙක්.

ඊට අමතරව තවත් සුපිරි ඉන්දීය නළු නිළියන් රැසක් ම MS Dhoniව තමන්ගේ ජීවිතයේ ආදර්ශමත් චරිතයක් විදිහට හඳුන්වලා දෙනවා. ක්‍රීඩාවෙන්, කලාවෙන් විතරක් ම නෙවෙයි දේශපාලනයෙන් පවා Dhoni කියන චරිතය විශේෂ ඇගයීම්වලට පාත්‍ර වෙනවා.

The Economic Times) Dhoni කියන්නේ සමහරුන්ට අනුව දෙවියෙක්!

ඔබටත් ඉන්දියාවේ දී මිනිසුන් අතරින් ම උසස් වෙලා දේවත්වයෙන් පිදුම් ලබන්න සෑහෙන්න අවස්ථාවක් තියෙනවා. Sachin Tendulkar කියන්නේ ඒ විදිහට මිනිසුන් අතරින් ඉදිරියට ඇවිත් දේවත්වයෙන් පිදුම් ලබන ක්‍රිකට් තරුවක්.

Tendulkarට විශාලතම අභියෝගයක් එල්ල කරන්න සමත් වුන තවත් ක්‍රීඩකයෙක් තමයි MS Dhoni කියන්නේ.

මේ තියෙන්නේ පසුගිය අප්‍රේල් 6 වැනිදා Lucknow Super Giants සහ Chennai Super Kings කණ්ඩායම් අතර IPL තරගය ආරම්භ වෙන්න පෙර Dhoniගේ රසිකයෙක් ඔහු වෙනුවෙන් පූජා පවත්වන වීඩියෝවක්.

ඉන්දියාවේ දී මේ වගේ දේවල් සාමාන්‍ය දේවල්, මනුෂ්‍ය විශ්වාසයන් නිසා ඔවුන් මේ විදිහේ දේවල්වලට පවා යොමු වෙන්න පුළුවන්.  වැදගත් ම දේ තමයි ඔහුට ඒ විශ්වාසය ඇති කළේ Dhoni විසින් අවුරුදු ගණනාවක් තිස්සේ ඉන්දියානුවන් වෙනුවෙන් ලබා දුන්නු දේවල් වලින් කියන එක.

එදා Lucknow සමඟ තරගය පැවැත්වෙන්නේ Chennai හී M A Chidambaram ක්‍රීඩාංගණයේ දී. ඒ කියන්නේ CSK කණ්ඩායමේ නිල ක්‍රීඩාංගණයේ දී (Home Ground). මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන CSK කණ්ඩායම වෙනුවෙන් MS Dhoni පන්දුවට පහර දෙන්න පිටියට පිවිසෙන්නේ තරගයේ 20 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී. ඔහු පිටියට අවතීර්ණ වෙද්දී අතුරු සිදුරු නැතිව පිරී ගිහින් තිබුණු මුළු Chidambaram ක්‍රීඩාංගණය ම Dhoni වෙනුවෙන් තමන්ගේ හඬ අවදි කරනවා.

Dhoni තමන් මුහුණ දෙන පළමු පන්දු දෙකට ම දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කරන්න සමත් වෙනවා. ක්‍රීඩාංගණයේ ඝෝෂාව තවත් ඉහළ යනවා.

ක්‍රීඩකයෙක් විදිහට තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ අවසානයට එද්දී මේ විදිහේ ප්‍රතිචාරයක් තමන්ගේ ප්‍රේක්ෂකයින්ගෙන් ලබන්න පුළුවන් වෙනවා නම් තව මොනවද ඔහුට/ඇයට ලබා ගන්න ඉතුරු වෙලා තියෙන්නේ?

MS Dhoniව සමහර විට ශ්‍රී ලාංකිකයකුට දැනෙන්නේ 2011 ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී නුවන් කුලසේකරගේ පන්දුවට හයේ පහරක් එල්ල කරමින් ලෝක කුසලානය අපෙන් උදුර ගත්තු දුෂ්ටයා විදිහට වෙන්න පුළුවන්.

නමුත් Mahendra Singh Dhoni කියන්නේ ඔබ ඊට වඩා කියවා ගත යුතු ක්‍රීඩකයෙක්. Dhoniට එරෙහිව ඔහුගේ ම සමහර හිටපු කණ්ඩායම් සාමාජිකයින්ගෙන් පවා සෑහෙන්න විවේචන ඉදිරිපත් වෙලා තියෙනවා. ඉන්දියාවේ ම Dhoniව වන්දනාමාන කරන ප්‍රේක්ෂකයින් අතරේ ම ඔහුට සෑහෙන්න වෛර කරන ක්‍රිකට් රසිකයින් නැතිවාම නෙවෙයි. Dhoni සමහර ක්‍රීඩකයින්ට විශේෂ සැලකිල්ලක් දැක්වුවා කියන චෝදනාව මේ දෙපාර්ශවයෙන් ම ඔහුට එල්ල වෙනවා.

නමුත් Dhoniට එල්ල වෙන චෝදනා, බැන වැදීම් නිසා ඔහු ඉන්දියාවේ සහ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ සටහන් කරපු නමට කිසිම විදියකින් බලපෑමක් සිදු කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ.

ඒ නිසාමයි මිනිස්සුන්ගේ හදවත් වල ලැගුම් ගත්තු “දෝණි” පිළිබඳ ව මෙහෙම සටහනක් ලියැවෙන්නේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<