දිලිප් Renown දිනවයි

Super League 2021

195
Dilip Suraj Peiris

මේ දිනවල දේශීය පාපන්දු පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන, මෙරට ප්‍රථම වෘත්තීය පාපන්දු ලීගය වන සුපර් ලීග් 2021 තරගාවලියේ ඊයේ (10) පැවති තරගයකින් ජයග්‍රහණය වාර්තා කරන්නට Renown SC සමත් වුනා.

කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති මෙම තරගයෙන් ගෝල 1-0ක් ලෙස පරාජය වුනේ Blue Eagles SC කණ්ඩායමයි.

පසුගිය සතියේ පැවති තරගවල දී New Youngs FC හමුවේ ගෝල 2-1ක් ලෙස පරාජය වෙමින් Blue Eagles මෙම තරගය පිවිසෙද්දී, Renown ක්‍රීඩකයින් Blue Star සමඟ පැවති තරගය සමව නිමා කරමින් මෙම තරගය සඳහා අවතීර්ණ වුනා.

ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවති මෙම තරගයේ පළමු අර්ධය ගෝල රහිතව නිමා වූ අතර දෙවැනි අර්ධයේ වාර්තා වූ ජයග්‍රාහී එකම ගෝලය වාර්තා කරන්නට සමත් වුනේ Renown නායක දිලිප් පීරිස් විසිනුයි.

Blue Eagles ක්‍රීඩක ජංසන දිසානායකට 61 වැනි මිනිත්තුවේ දී රතු කාඩ්පතක් හිමි වූ අතර Renown ක්‍රීඩක මොහොමඩ් අමාන් හට 9 වැනි මිනිත්තුවේ දී කහ කාඩ්පතක් හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: Blue Eagles SC 0 – 1 Renown SC

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්:

  • Renown SC – දිලිප් පීරිස් 74’

ඊයේ රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතව තිබූ Up Country Lions FC සහ Blue Star SC අතර තරගය වර්ෂාව නිසාවෙන් අතහැර දැමීමට බලධාරීන් කටයුතු කළා.

සුපර් ලීග් තරගාවලිය ඉකුත් අප්‍රේල් 19 වැනිදා ආරම්භ වූ අතර එහි පළමු අදියර මැයි 2 වැනිදා දක්වා පැවැත්වුනා. ඉන්පසුව ජාත්‍යන්තර තරග විරාමයක් පැවති අතර එම කාලයේ දී ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම විදෙස් තරගාවලි කිහිපයක් සඳහා සහභාගී වුනා.

ඉන් අනතුරුව තරගාවලිය නැවතත් දෙසැම්බර් 5 වැනිදා යලිත් අරම්භ වූ අතර තරගාවලියේ සිව්වැනි තරග සතිය නිමා වුනේ මෙසේයි.

  • දෙසැම්බර් 5: Colombo FC 2 – 2 Red Stars FC
  • දෙසැම්බර් 6: Renown SC 0 – 0 Blue Star SC
  • දෙසැම්බර් 6: Sea Hawks FC 1 – 0 Up Country Lions FC
  • දෙසැම්බර් 7: Ratnam SC 1 – 2 Defenders FC
  • දෙසැම්බර් 7: Blue Eagles SC 1 – 2 New Youngs FC

තරගාවලියේ තවත් තරග දෙකක් අද (11) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිත අතර එහි දී Sea Hawks FC ක්‍රීඩකයින්ට එරෙහිව Defenders FC ක්‍රීඩකයිනුත් (සවස), Ratnam SC ක්‍රීඩකයින්ට එරෙහිව Colombo FC ක්‍රීඩකයිනුත් (රාත්‍රි) තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ සවිස්තර තොරතුරු දැන ගන්නට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<