සර්වාන් සහ Yapoගේ ප්‍රහාරයෙන් Colombo FC ජය ලබයි

Super League 2021

261

මෙරට ප්‍රථම වෘත්තීය පාපන්දු ලීගය වන සුපර් ලීග් 2021 තරගාවලියේ පළමු අදියරේ අවසන් තරගයන් අද (02) දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තිබූ නමුත් එහි Up Country Lions FC සහ Defenders FC අතර තරගය කොරෝනා අවදානම නිසාවෙන් කල් දැමීමට සිදුවුනා. 

දිනයේ පැවැති එකම තරගය වූ Colombo FC සහ Renown SC අතර තරගයෙන් Renown පරදවා ජයග්‍රහණය හිමිකර ගැනීමට Colombo FC ක්‍රීඩකයන් සමත් වුනා. ඒ ගෝල 2-1ක් ලෙසයි. 

Up Country Lions FC – Defenders FC 

මෙතෙක් සහභාගී වූ තරග ද්විත්වයෙන් එකක් පමණක් ජයගත් Up Country Lions කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේහි පසුවූ අතර තරග ද්විතවයම ජයපරාජයෙන් තොරව අවසන් කළ Defenders ක්‍රීඩකයන්ට හිමිවුනේ හත්වැනි ස්ථානයයි. 

මෙම තරගය ආරම්භයට පෙර කණ්ඩායම් ද්විතවයේම ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගෙන් රෝගී ලක්ෂණයන් පෙන්නුම් කළ නිසා ක්‍රීඩකයන්ගේ සහ අනෙකුත් සියල්ලන්ගේම ආරක්ෂාව වෙනුවෙන් තරගය නොපැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කළා. 

පසුව එම ක්‍රීඩකයන් සියල්ල PCR පරික්ෂාවන්ට යොමුකර ඇති අතර ඔවුන්ගේ ප්‍රතිඵල දින දෙකක් ඇතුළත් ලැබීමට නියමිතයි. එම පරීක්ෂණ ප්‍රතිඵලයන්ට අනුව නව දිනයක දී තරගය පැවැත්වෙනු ඇත. 

තවත් පාපන්දු පුවත් කියවන්න: 

Colombo FC – Renown SC 

මේ දක්වා පැවති තරගයන්ගේ ප්‍රතිඵලයන්ට අනුව Colombo FC කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානයේත්, Renown කණ්ඩායම නවවන ස්ථානයේත් පසුවූ නිසා මෙම තරගය දෙපිළටම ඉතා වැදගත් තරගයක් වුනා. 

ආරම්භයේ සිට තිබූ තියුණු සටනකින් පසු තරගයේ පළමු ගෝලය 34 වන මිනිත්තුවේ දී වාර්තා කරගැනීමට Colombo FC ක්‍රීඩක සර්වාන් ජෝහාර් සමත් වුනා. ඒ මොහොමඩ් ආකිබ් විසින් ලබාදුන් පන්දුවක් සාර්ථකව ගෝලයට එල්ල කරමින්. 

ප්‍රතිවාදීන්ගේ ගෝලයට හොඳ පිළිතුරක් ලබාදුන් Renown FC ක්‍රීඩක මොහොමඩ් අමාන් දඬුවම් රාමුව තුළදී ලැබුනු පන්දුවක් අලංකාර ලෙස පාලනය කර ගෝලය වෙත එල්ල කරමින් ගෝලයක් වාර්තා කළා. ඒ තරගයේ 43වන මිනිත්තුවේ දීයි. 

පළමු අර්ධය තුළදී වෙනත් ගෝල වාර්තා කරගැනීමට කිසිවෙකු සමත් නොවූ නිසා එම අර්ධය සමව අවසන් වූවත් එම අර්ධයේ වැඩි ගෞරව Renown FC ක්‍රීඩකයන්ට හිමිවුනා. 

උණුසුම් වූ පළමු අර්ධයකින් පසු තරගයේ 50 වන මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් සිය කණ්ඩායමට අවශ්‍ය වූ පරතරය ලබාදීමට Colombo FC ක්‍රීඩක Momas Yapo සමත් වුනා. ඒ නැවත වරක් මොහොමඩ් ආකිබ් ලබාදුන් පන්දුවක් ගෝලය වෙත එල්ල කරමින්. 

තරගයේ අවසන් භාගයේ දී Renown FC ක්‍රීඩකයන් වන Franccis Agbeti සහ ජූඩ් සුබාන් සිදුකළ අනිසි ක්‍රියාවන් නිසාවෙන් ඔවුන්ට රතු කාඩ්පත ලබාදීමට විනිසුරුවරයා කටයුතු කළා. ඒ නිසාවෙන් අවසන් මිනිත්තු කිහිපය ක්‍රීඩකයන් 9 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට ඔවුන්ට සිදුවුනා. 

තරගයේ සම්පූර්ණ කාලය අවසන් වනතුරුම තවත් ගෝලයක් වාර්තා කරගැනීමට Renown FC ක්‍රීඩකයන්ට නොහැකි වූ නිසා තියුණු සටනකින් පසු ගෝල 2-1ක් ලෙස තරගයේ ජයග්‍රහණය Colombo FC ක්‍රීඩකයන්ට හිමිවුනා. 

අවසන් ලකුණු තත්වය: Colombo FC 02 – 01 Renown SC 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්: 

  • Colombo FC: සර්වාන් ජෝහාර් 34’, Momas Yapo 50’. 
  • Renown SC: මොහොමඩ් අමාන් 43’. 

කහ කාඩ්පත්: 

  • Colombo FC: Momas Yapo 14’, චලන චමීර 90’. 
  • Renown SC: මොහොමඩ් රිස්නි 52’, මොහොමඩ් රිෆ්නාස් 88’. 

රතු කාඩ්පත්: 

  • Renown SC: ජූඩ් සුබාන් 82’, Franccis Agbeti 78’. 

තරගාවලියේ මෙතෙක් ප්‍රතිඵලයන්ට අනුව Sea Hawks FC කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේත්, Red Stars FC කණ්ඩායම දෙවන ස්ථානයේත් පසුවේ. 

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්රීඩා පිටුවට<<