සුපිරි රග්බි තරු එකට ගැටෙන මොකද්ද මේ ‘සුපර් රග්බි’?

419

ලොව පුරා රග්බි ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියතම මෙන්ම ලොව විශාලතම ලීග් රග්බි ක්‍රීඩා සමාජ තරගාවලිය වන ‘සුපර් රග්බි’ තරගාවලිය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට නම් තරමක් ආගන්තුකයි. ඒ නිසාම ලාංකීය රග්බි පිටියේ තතු විත්ති සොයා යන ThePapare.com ජාත්‍යන්තර රග්බි පිටියට ද පා තබන්නට සිතුවා. මේ ඒ සඳහා ගැළපෙන ලිපි පෙළක පළමුවැන්නයි. මොකද්ද මේ සුපර් රග්බි?මෙහි ක්‍රියාත්මක වන්නේ ද පාපන්දු ක්‍රීඩාවේ හමුවන ශූරයින්ගේ ලීග් ආකෘතියට (UEFA Champions League) සමාන ආකෘතියක්. රටවල් පහක ප්‍රධාන රග්බි ක්‍රීඩා සමාජ දැවැන්ත තරගාවලියකට එක්වනවා. මේ රටවල් පහ නම් ආර්ජෙන්ටිනාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව හා ජපානයයි.

ඉස්රායෙල් ඩැග්, රග්බි පිටියෙන් සමුගනියි

නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ ෆුල් බැක් ක්‍රීඩකයා මෙන්ම ලොව පුරා ජනප්‍රිය ක්‍රීඩකයෙකු වූ…

තරගාවලිය සංවිධානය කරන්නේ SANZAR නම් සුපර් රග්බි තරගාවලිය සඳහාම ස්ථාපිත වූ සම්මේලනයක් විසින්. මේ සඳහා දායකත්වය දක්වන්නේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව හා ආර්ජෙන්ටිනාව යන රටවල් පමණයි. SANZAR සම්මේලනය සංවිධානය කරන්නේ සුපර් රග්බි තරගාවලිය පමණක් නොවේ. ආර්ජෙන්ටිනාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව තරග වදින සුප්‍රකට Rugby Championship තරගාවලිය සංවිධානය කිරීමේ වගකීම ද ඔවුන් සතුයි. මෙම සම්මේලනය ස්ථාපිත කරනු ලැබුවේ 1996 දීයි.

තරගාවලියට එක්වන කණ්ඩායම්.

මේ වසරේ තරගාවලියට කණ්ඩායම් 15ක් එක්වනවා. වසර කිහිපයකට වතාවක් තරගාවලියට එක්වන කණ්ඩායම් ගණන වෙනස් වීම තරගාවලිය ආරම්භයේ සිටම දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක්.

නම කියූ පමණින් නවසීලන්තය තරගාවලියේ සාර්ථකම රට බව ඔබ අනුමාන කරන්නට ඇති. නවසීලන්තය නියෝජනය කරමින් කණ්ඩායම් පහක් තරගාවලියට එක් වනවා. Blues, Chiefs, Crusaders, Highlanders හා Hurricanes එම ප්‍රබල කණ්ඩායම් පහයි.

නවසීලන්තයේ ජන්මාන්තර ප්‍රතිවාදියා වන ඕස්ට්‍රේලියාවත් තරගාවලියට කණ්ඩායම් පහක් ඉදිරිපත් කරනවා. Brumbies, NSW Waratahs, Melbourne Rebels, Reds හා Sunwolves යන ප්‍රකට කණ්ඩායම් තරගාවලියට එක්වන්නේ ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින්. Sunwolves කණ්ඩායම ජපාන කණ්ඩායමක් වුනත් ඔවුන් ඕස්ට්‍රේලියානු රග්බි පාපන්දු සම්මේලනය යටතේ තරගාවලියට එක්වන නිසා ඔවුන් අයත් වන්නේ ද ඕස්ට්‍රේලියානු කණ්ඩායම් කාණ්ඩයටයි.

අප්‍රිකානු රග්බි පාපන්දු සම්මේලනය නියෝජනය කරමිනුත් කණ්ඩායම් පහක් තරගාවලියට එක් වෙනවා. Bulls, Jaguares, Lions, Sharks, Stormers එම කණ්ඩායම් පහයි. මින් Jaguares කණ්ඩායම අයත්වන්නේ ආර්ජෙන්ටිනාවටයි. ඉහත අවස්ථාවේ පරිදීම අප්‍රිකානු සම්මේලනයේ සාමාජිකත්වය ලබා ඇති නිසා ඔවුන් අප්‍රිකාව යටතේ තරගාවලියට එක් වෙනවා.

කණ්ඩායම් පිළිබඳ සවිස්තර තොරතුරු අපි මේ පිළිබඳ වන දෙවන ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. මෙම ලිපිය මීළඟට අවධානය යොමු කරන්නේ තරගාවලිය ආකෘතිය හා ඉතිහාසය පිළිබඳවයි.

කොහොමද සුපර් රග්බි ඇරඹුණේ?

තරගාවලිය ආරම්භ වීමට පදනම වැටෙන්නේ 1986 වසරේ දීයි. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හා ක්විස්ලන්ඩ් යන කණ්ඩායම් නවසීලන්තයේ ඕක්ලන්ඩ්, කැන්ටබරි හා වෙලින්ග්ටන් යන කණ්ඩායම් හා තරග වදිනවා. ෆීජි කණ්ඩායමක් ද තරගාවලියට එක් වුනා.

(Crusaders කණ්ඩායම 2018 Super Rugby ශුරතාව දිනූ අවස්ථාව)

දකුණු පැසිෆික් ශූරතාව හෙවත් සුපර් සික්ස් තරගාවලිය ලෙස මෙම කණ්ඩායම් හය වසර පහක් තරග කළ අතර 1993 වසරේ දී කණ්ඩායම් දහයක් දක්වා තරගාවලිය ව්‍යාප්ත වන්නේ සුපර් ටෙන් තරගාවලිය ලෙසයි.

1996 වසරේ දී අප ඉහත කතා කළ SANZAR සම්මේලනය ස්ථාපිත වෙනවා. ඉන් පසු තරගාවලිය ලොව පළමු ‘ජාත්‍යන්තර – දේශීය ක්‍රීඩා සමාජ අතර තරගාවලිය’ හෙවත් Super 12 තරගාවලිය බවට පත්වෙනවා. ඒ වන විට දකුණු අප්‍රිකාවත් තරගාවලියට සම්බන්ධ වී සිටියේ සාමාජික රටවල් ගණන තුනක් බවට පත් කරමින්.

නවසීලන්තයේ විවිධ ප්‍රදේශ මූලික කරගනිමින් තරගාවලිය සඳහා කණ්ඩායම් පහක් නිර්මාණය වුනා. සම්ප්‍රදායික ඕස්ට්‍රේලියානු රග්බි ක්‍රීඩා කරන ප්‍රාන්ත දෙක (නිව් සවුත් වේල්ස්, ක්වින්ස්ලන්ඩ්) මූලික කර ගනිමින් හා තවත් එක් අලුත් කණ්ඩායමක් නිර්මාණය කර ගනිමින් ඕස්ට්‍රේලියාව තරගාවලියට එක් වුනා. නව ආකෘතියේ තරගාවලියට පළමු වසර තුනේ දකුණු අප්‍රිකාව කණ්ඩායම් එකතු කළේ ඔවුන්ගේ දේශීය තරගාවලිය වූ Currie Cup ප්‍රතිඵල අනුවයි. පසුව ඔවුන් නවසීලන්තය ලෙසම විවිධ පළාත් මූලික කර ගනිමින් කණ්ඩායම් බිහි කළා. පසුව 2006 වසරේ දී කණ්ඩායම් ගණන 14ක් දක්වා ඉහළ ගියා.

(2019 කණ්ඩායම් – Ruggaworld)

2011 වසරේ දී කණ්ඩායම් ගණන 15ක් දක්වා ඉහළට ගියේ Melbourne Rebels කණ්ඩායම එකතු වීමත් සමඟයි. ඒ සමඟම අප්‍රිකානු, නවසීලන්ත හා ඕස්ට්‍රේලියානු සම්මේලනවලට කණ්ඩායම් තුන බැගින් බෙදී ගියා.

තරගාවලියේ ආකෘතිය දැක්වුණේ මෙලෙසයි. කණ්ඩායම් සියල්ල තරග 16ක්  බැගින් ක්‍රීඩා කරනවා. ඉන් තරග අටක් ඔවුන් ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේම සම්මේලනයේ කණ්ඩායම් සමඟයි. (උදා: ඕස්ට්‍රේලියා, නවසීලන්ත හෝ අප්‍රිකානු). සරලවම කිව්වොත් ඕස්ට්‍රේලියානු සම්මේලනයේ කණ්ඩායමක් සිය සම්මේලනයේ අනෙක් කණ්ඩායම සමඟ දෙවතාවක් බැගින් ක්‍රීඩා කරනවා. අනතුරුව අවසන් තරගාවලිය ආරම්භ වන අතර එක් එක් සම්මේලනයේ පළමු ස්ථාන දිනා ගත් කණ්ඩායම් තුන නිතරගයෙන්ම එම තරගාවලියට සුදුසුකම් ලබන අතර තවත් කණ්ඩායම් පහකට ද එම වටයට අවස්ථාව හිමි වෙනවා.

2016/17 වසරවල කණ්ඩායම් ගණන 18ක් දක්වා ඉහළ ගියත් 2018 සිට තරගාවලියට එක්වන්නේ කණ්ඩායම් 15ක් පමණයි. පහත රූප සටහන 2016/17 තරගාවලියට එක්වූ කණ්ඩායම් පිළිබඳවයි.

(2016-17 තරගවාරයට එක්වුණු කණ්ඩායම් සම්මේලන හතරක් යටතේ තරග කිරීම විශේෂත්වයක්.

ඒ මෙන්ම වැඩිම කණ්ඩායම් ගණනක් එක්වුණු තරගාවලිය වන්නේද 2016/17 වසර දෙකයි.

සාර්ථකම කණ්ඩායම්

තරගාවලියේ සාර්ථකම කණ්ඩායම් නවසීලන්තය නියෝජනය කළ කණ්ඩායම් වීම විශේෂත්වයක්. 1996 පළමු තරගාවලියේ ශුරතාව දිනා ගත්තේ නවසීලන්තය නියෝජනය කළ Blues කණ්ඩායමයි. ඒ වගේම තරගාවලියේ සාර්ථකම කණ්ඩායම් වන්නේ නව වතාවක් සුපර් රග්බි ශූරතාව දිනූ නවසීලන්තයේ Crusaders කණ්ඩායමයි.

සුපිරි 12 තරගාවලිය

  • 1996 Blues
  • 1997 Blues
  • 1998 Crusaders
  • 1999 Crusaders
  • 2000 Crusaders
  • 2001 Brumbies
  • 2002 Crusaders
  • 2003 Blues
  • 2004 Brumbies
  • 2005 Crusaders

සුපිරි 14 තරගාවලිය

  • 2006 Crusaders
  • 2007 Bulls
  • 2008 Crusaders
  • 2009 Bulls
  • 2010 Bulls

සුපර් රග්බි තරගාවලිය

  • 2011 Reds
  • 2012 Chiefs
  • 2013 Chiefs
  • 2014 Waratahs
  • 2015 Highlanders
  • 2016 Hurricanes
  • 2017 Crusaders
  • 2018 Crusaders

ඉතිහාසය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබූ ඔබ සුපර් රග්බි තරගාවලියේ සුපිරි දස්කම් දැක්වන කණ්ඩායම් පිළිබඳ තොරතුරු දන්නවා ද? 2019 තරගාවලියේ සියලුම කණ්ඩායම් ඔබ වෙත හඳුන්වා දීමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Photos – super.rugby.com

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<