ශ්‍රී ලංකා සිහින සුන් කරමින් අගමැති කුසලානය සීෂෙල්ස්ට

අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය 2021

545

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අද (19) පැවති අවසාන මහා තරගයෙන් දඬුවම් පහර 3-1ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට සීෂෙල්ස් ක්‍රීඩකයින් සමත් වුනා.

එක් තරගයක් ජය ගනිමින් සහ තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් සීෂෙල්ස් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර එක් තරගයක් පරාජය වී තරගයක් සමව අවසන් කළ ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ ලැබූ තියුණු ජයග්‍රහණය නිසාවෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

අප්‍රිකානු රාජ්‍යයක් වන සීෂෙල්ස් වත්මන් පාපන්දු වර්ගීකරණයේ 199 වැනි ස්ථානයේ පසු වූ අතර පසුගිය කාලසීමාවේ දී දැඩි පසුබෑමකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පසුවුනේ 204 වැනි තැනයි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති Gianni Infantino මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම තරගය පැවැත්වුනේ කොළඹ තුරඟ තරග පිටියේ දීයි.

තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වූ ඉදිරි පෙළ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ඩිලොන් ද සිල්වා සහ කවිඳු ඉෂාන් ආබාධ නිසාවෙන් මෙම තරගයෙන් ඉවත්ව සිටි අතර පසු පෙළ ආරක්ෂක වළල්ලේ තුරුම්පුව ලෙස සැලකූ Duckson Puslas ද පෙර තරගයේ ලද රතු කාඩ්පත නිසාවෙන් මෙම තරගයෙන් ඉවත්ව තිබීම ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසිදායක තත්වයක් වුනා.

සත්කාරක ශ්‍රී ලංකාවට සුබවාදී ආරම්භයක් ගෙන දෙමින් තරගයේ පළමු ගෝලය රැස්කිරීමට මර්වින් හැමිල්ටන් සමත් වුනේ තරගය ආරම්භ වී 4 වැනි මිනිත්තුවේ දීයි. ඒ නිදහස් පහරක් මගින් එල්ල කළ පන්දුවක් සීෂෙල්ස් පසුපෙළ ක්‍රීඩකයෙකු පිටේ වැදී ගෝලයට යොමු වීමෙනුයි.

පළමු අර්ධයේ අවසානය තෙක් ශ්‍රී ලංකාව රඳවාගෙන තිබූ ආධිපත්‍ය විනාශ කරමින් ගෝල තත්වය සම කිරීමට සීෂෙල්ස් ක්‍රීඩක Emmanuel Jeanට හැකි වුනා. ඒ 45 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළට පැමිණි පන්දුවක් සුජාන් පෙරේරා පසු කරමින් හිසින් ගෝලය වෙත එල්ල කරමින්.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 1 – 1 සීෂෙල්ස්

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ සතුට දෙගුණ කරමින් 57 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළට පැමිණි පන්දුවක් වේගවත් පහරක් මගින් දැල වෙත එල්ල කිරීමට මොහොමඩ් ආකීබ්ට හැකි වුනේ ප්‍රතිවාදී ගෝල රකින්නා නරඹන්නෙක් බවට පත් කරමිනුයි.

තරගයේ වැඩි ආධිපත්‍ය ශ්‍රී ලංකාවට දිනා දෙමින් 85 වැනි මිනිත්තුවේ දී තරගයේ තුන්වැනි ගෝලය මෙන්ම තරගාවලියේ සිය හත්වැනි ගෝලය වාර්තා කිරීමට වසීම් රාසීක්ට හැකි වුනා.

සීෂෙල්ස් ක්‍රීඩකයෙකු දඬුවම් රාමුව තුළ දී සිදු කළ වැරදි වැළැක්වීමක් නිසාවෙන් හිමි වූ දඬුවම් පහරක් එල්ල කිරීමේ වගකීම ලබා ගත් වසීම් එය ප්‍රතිවාදී ගෝල රකින්නා පසුකරමින් සාර්ථකව දැල වෙත එල්ල කළා.

සිය කණ්ඩායම නැවතත් තරගයට ගෙන එමින් 85 වැනි මිනිත්තුවේ දී සුජාන් පෙරේරා පසුකරමින් ශ්‍රී ලංකා ගෝලය වෙත පන්දුව යොමු කිරීමට සීෂෙල්ස් නායක Steave Benoitට හැකි වුනේ  ක්‍රීඩාංගණයම සුළු මොහොතකට නිහඬ කරමිනි.

ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරමින් තරගයේ 90 වැනි මිනිත්තුවේ දී තවත් ගෝලයක් ලබා ගනිමින් ගෝල තත්වය සම කිරීමට සීෂෙල්ස් ක්‍රීඩක Woodley Tambooට හැකි වුනා.

තරගයේ නියමිත කාලය අවසන් වෙද්දී කණ්ඩායම් දෙකම සම තත්වයේ සිටි නිසාවෙන් ජයග්‍රාහකයන් තීරණය කිරීමට දඬුවම් පහර අවස්ථාවකට යාමට සිදු වුනා.

තරගයේ අවසන් භාගයේ දී ලබා ගත් ආධිපත්‍ය දඬුවම් පහර වටයේ ද රඳවා ගත් සීෂෙල්ස් ක්‍රීඩකයන් එම වටය ගෝල 3-1ක් ලෙස අවසන් කළේ අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය සිය නමට ලියා ගනිමිනි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 3 (1) – 3 (3) සීෂෙල්ස්

ගෝල ලබා ගත් ක්‍රීඩකයන්:

  • සීෂෙල්ස්: Emmanuel Jean 45+1’, Steave Benoit 85’, Woodley Tamboo 90+1
  • ශ්‍රී ලංකාව: මර්වින් හැමිල්ටන් 4’, මොහොමඩ් ආකීබ් 57’, වසීම් රසීක් 75’

තරගාවලියේ Golden Boot සම්මානය වසීම් රාසික් විසින් දිනා ගනිද්දී තරගයේ වටිනාම ක්‍රීඩකයාට හිමි වන Golden Ball සම්මානයට හිමිකම් කීවේ ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරායි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<